Thursday, April 15, 2021

Kamali from Nadukkaveri 2021

 


සුපිරිම ෆිලිම් එකක් 🔥❤👌 ( Recommend )

සුපිරියටම සෙට් උන ෆිලිම් එකක්. 

A/L කරන O/L කරන වගෙම කැම්පස් ගියපු. තමන්ගේ හීනයක් වෙනුවෙන් මහන්සී වෙන ඕනම කෙනෙක් බලන්න.

බලන්න යවන කාලයට ලොකු අර්තයක් තියෙවී.පළවෙනි හොරාවේ කියන හැම වචනයම ජිවතට ලොකු අර්තයක් එකතු කරනවා.

ජිවතය දින්න හොද යාලුවෙක් වගෙම හරී මග පෙන්වන කෙනෙක් හිටියානම් ඔයා අද ඉන්න තැනට වඩා ගොඩක් ඉහලින් ඉදීවී කියලා ඔයාට තෙරේවී..

ආදර කතාවක් එත් මෙක වෙනම කතාවක්.

කොප්පයකින් ජිවතය දින්න... බලන්න ලස්සන ෆිලිම් එකක්.

Monday, April 5, 2021

Chakra(2021)


ගොඩ කාලෙකට පස්සෙ විශාල්ගෙ ෆිල්ම් එකක් නිසා ආසවෙන් ගත්තෙ බලන්න.ෆිල්ම් එක මේ වෙනකොට බලල ඇති කියල හිතනව.බලල නැත්නම් මේක කියවන්න කලින් බලල ඉන්න.නැත්නම් බලන්න දේකුත් නෑනෙ.කොහොම නමුත් ෆිල්ම් එකේ යන්නෙ හැකර් කෙනෙක් මාර්ගෙන් ගෙවල් මන්කොල්ල කන පිරිසක් ගැන.

ඉන්දියාවෙ නිදහස් දිනේ දවසෙ බයික් එක්කින් යන දෙන්නෙක් ගෙවල් කිහිපයකින් තමන්ට උවමනාවිදියට සල්ලි අරන් පැනල යනවා.ඒත් කිසිම සාක්ශියක් නැතුව.හැම ගේකම වයසක පිරිසක් තමා ජීවත් වෙන්නෙ.ඒත් කිසිම පොලිස් කාරයෙකුට ඒ හොරුදෙන්නව අල්ල ගන්න බෑ.ඉතින් ඒක පොලීසියට ලොකු ලැජ්ජාවක්.ඊට පස්සෙ පොලීසියෙ ලොක්කෙක් ඒක බාර දෙනව සුපිරි පොලිස් කාන්තාවකට.ඒ තමා ගයත්‍රි.ඉතින් ගයත්‍රි මේක fallow කරද්දි එයාට මීටර් වෙනව තමන්ගෙ පෙම්වතාගෙ ආච්චිගෙ ගෙදරත් මෙ හොරු මන්කොල්ල කාල කියල.

ඔන්න වීරයට කෙල්ල කෝල් එකක් ගන්නව.වීරය එතකොටත් ඉදපු තැනින් ගේමට එන්ටර් වෙලා ඉවරයි.ආච්චිට තුවාල වෙලා ඔක්කොම දේවල් හොරු දෙන්න අරන් ගිහින්.ඒ කිසි දේකින් වැඩක් නෑ.ඔන්න වීරය අවුල් යන තැනක්.තමන්ගෙ තාත්ත ආමි එකේ ඉදල රට වෙනුවෙන් කරපු දේකට හම්බෙච්ච පදක්කමක්.ඒකත් හොරු අරන් ගිහින්....අන්න ඒ සීන් එකට තමා මේ ආමි එකෙන් ආව වීර කොල්ල මුලු හොරකම් ඔක්කොම හොයන්න පටන් ගත්නෙ.මට නම් මේ ෆිල්ම් එක වීරය වීරයෙක්ම පමණක් කරපු ෆිල්ම් එකක් විතරයි.මොකද වීරයගෙ ට්‍රික්ස් මහ අමුතුයි.

පොර ආමි එකේ උනාට ශර්ලොක් හෝම්ස්ටත් එහා.නිකන් සලකුනක් දැක්කත් ඒ මොකක්ද කියල තක්කෙටම කියනව.ඊලගට වෙන දේ හිතින් හිතා ගන්නව.50  උනත් ගුටි නොකා ගහනවා.මේ ස්ටෝරිය පුරාවට වීරයට පසු තැවෙන එක කොටසක්වත් නෑ.ඔක්කොම නිකන් මාර අමුතු විදියට වීරයට 100% ලකුනු වැටෙන්න වෙනවා🤣

මීට වැඩියෙන් දෙයක් ෆිල්ම් එකේ කරන්න තිබ්බ.හැකර් ගැන කතා කරලම වැඩක් නෑ.ඒ හැකර් අමුතුම ඩයල් එකක්.මහා පරිමාණ හැකර් කෙනෙක් වගේ ඇක්ට් කරාට ප්‍රතිවාදිය ලගට එනකන් ඒ කවුද කියල හැකර් දන් නෑ...කොහොම නමුත් බලන්න...මේකට rate නම් 7/10 තියනවා.ඒත් ඒ ගාන හොදටම වැඩී ෆිල්ම් එකට 5/10 දෙන්නම් මගෙ කෝණයෙන්...

Tuesday, February 16, 2021

ඝරසරප

 


යක්කු රිංගන්නේ පාළු හිත් වලට

ජයන්ත චන්ද්‍රසිරි නිතරම ආමණ්ත්‍රනය කරන්නේ අපේ හදවත් වල ගැඹුරුම තැනට.ඒක ඔහුගේ මම දැකපු ආදරණීයම පුරුද්ද.සමනල සංධ්වනිය වගේම ගරිලා මාකටිං වැනි නිර්මාණ හරහා කරන්නෙත් ඒ දේ මයි.අතීත මතකයන් වල ඉතිරි වෙලා තියෙන සියුම් කැළැල් නැවත නැවත පාරන්න ඔහු සමත් වෙනවා.ඔහුගේ එකම නිර්මාණයක් වත් එක වතාවක් නරඹලා අත් හැර දාන්න නොහිතෙන්නේ ඒ නිසා වෙන්න ඇති.ඇත්තටම හදවත තවමත් කැමති සියුම් රිදුම් වලින් දැනෙන වේදනාව නැවත නැවතත් අලුත් කරගන්න.ඒ නිසාම ඝරසරප හරහා ජයන්ත චන්ද්‍රසිරි විසින් සිදුකරන තමන්ගේම මතකාවර්ජනය ඔහුගේ ප්‍රේක්ශකයා ඉතා තදින් වැළඳ ගන්නවා මමද ඇතුලුවම.

යක්කු රිංගන්නේ හිස් වෙච්චි හිත් වලට.ආදරය,කරුණාව,මෛත්‍රියෙන් හිස් වුණු හිත් හොයාගෙන යන කළු රාලහාමි ට අහම්බෙන් මුණ ගැහුණු විද්‍යා නම් සුරූපී තරුණිය තමන්ගේ වසඟයේම තබාගන්න කළු කුමරයා නොයෙක් විදි වලට උත්සාහ කරනවා.

ඝරසරප ආරම්භක මොහොතේදීම ඇහෙන ගැඹුරු කටහඬින් අපව ආමන්ත්‍රණය කරන්නේ කළු රාලහාමි.ආදරණීයයන් ගේ දවසකට ඔහුගේ ඒ වචන තරම් ගැලපෙන වෙන කිසිම වදන් පෙළක් මගේ සිහියට එන්නේ නැහැ.

"මම රිංගන්නේ සිතිවිලි අතරට,

ඒ නිසා සිතිවිලි අතරේ "කමාවන්" නම් තියන්න එපා,"තිත්" තියෙනවා ඇරෙන්න..."

ආදරණීයයන් ගැන හිතේ ඇති වෙන සිතිවිලි වල හිස් තැන් ඇති උනහම කළු කුමාරයන් විතරක්ම නෙවෙයි,තවත් විවිදාකාරයේ ස්වරූපයන්ගෙන් කුමර/කුමරි දිශ්ඨි ඒ හිත් වලට ඇතුලු වෙන්න ඉඩ තියෙනවා.ඒ නිසා ආදරය ඇති පදමට හිතේ පුරවා ගන්න.ඝරසරප හි සඳරැස් ගේ බිරිඳ ෆ්‍රෑන්කී ගේ හිතට කළු රාලහාමි ට එබෙන්න ඉඩ ලැබෙන්නෙත් ඒ විදිහට හිත හිස් වුණු එක ක්ශනයකිනුයි......

සඳරැස් ට විද්‍යාව මුණ ගැහුනේ ගඩාගම පල්ලිය ට පැමිණෙන මොහොතේදී.ඒ වෙද්දී විද්‍යා කියන්නේ කළුකුමාර බැල්ම වැටුණු තවත් එක යුවතියක්.ඒත් ටික දවසක ගත වෙද්දී කළුකුමාර දිශ්ඨිය වෙනුවට ඇගේ හිතට ඇතුළු වෙන්නේ සඳරැස් ගේ බැල්ම.එතනින් පහුවට කළු රාලහාමිට කරන්න පුළුවන් දෙයක් නැහැ.ඒ නිසාමයි පල්ලියේ දේවගැතිවරයා අවසානයේදී විද්‍යාට කියන්නේ ඇගේ සුවවීම පිළිබඳ තමන්ගේ කිසිම සම්බන්දයක් නැති බව.ඒ කතාව ජයන්ත චන්ද්‍රසිරි ගේම කතාව වග ඔහු ලබාදුන් පුවත්පත් සාකච්ඡාවකදී පවසනවා.ඉතින් තවදුරටත් "චන්ද්‍රසිරි" නම "සඳරැස්" නමට එකට සමපාත වීම අහඹුවක් නෙවෙයි.ඒ ඔහුගේම කතාව.තමන්ගේම කතාවට තවත් ඌණපූර්ණ එක් කරමින් ඔහු මේ කතාවට ලබා දෙන අවසානය සිත් ලගන්නා සුළුයි.

තමන්ගේම ආදරණීය කතාවක මතකයන් වෙනුවෙන් ඔහු විසින් රචනා කරන ගීතය තුල පවා දැනෙන්නේ වචන වලට පෙරළිය නොහැකි තරම් ආදරණීය බවක්.තමන්ටම අනන්‍ය වුණු සිනමා භාවිතාවක් වගේම වචන භාවිතයකින් පරිපූර්ණ වුණු ජයන්ත චන්ද්‍රසිරි අකුරු කරන " හැම දෙයක් පෙනේ ", ගීතයේ එක තැනකදී ඇහෙන වචන කිහිපයක් තදින්ම හිතට දැණුනා.ඒ ඇයිද කියන්න තවමත් මගේ හිතේ අදහසක් නැහැ.

"මල් පිපෙන මහ කැලය මනරම් 

වැසි වැටෙන වැලි කතර සුපසන් 


තරු ගිලින කළු කුහර වුව 

පිරිනමයි මිතුදම්"

එතන තිබුනේ ආදරය විතරමයි.ජාති,ආගම්,කුළ මල බේද කිසිම දෙයකට බලපෑම් කරන්න බැරි තරම් තද හැඟීම්බර ආදරයකට යක්කු කොහේ රිංගන්නද.විද්‍යා ගේ අම්ම තාත්තා පවා දියණිය සහ සඳරැස් අතර ඇති වුණු බැඳීමට තදබල සීමාමායිම් පැමිණවීමට උත්සාහ නොකිරීම ම ඊට හොඳ නිදසුනක්.

සඳරැස් සහ විද්‍යා දෙපළම වසර තිස් හතකට පසුව මුණ ගැහෙන මොහොත වෙනකම්ම කළු රාළහාමි විසින් සිදු කරන්නේ වසර ගණනාවකට පෙර තමන් සඳරැස් ට ලබා දුන්නූ පොරොන්දුව ඉශ්ඨ කරන්න උත්සාහ කිරීමක්.ෆ්‍රෑන්කී ගේ හිතට ඇතුළු වෙන්නෙත් ඒ අභිප්‍රාය සඵල කර ගැනීමේ අරමුණ වෙනුවෙන්මයි.

මුහුදු හතෙන් මෙහාට ඒ කෙල්ල ආපු දාක මම උඹට ඒකීව මුණ ගස්සනවාමයි කියලා පොරොන්දු ලබා දෙන්නේ සඳරැස් ගේ හිතේ පැල වුණු මහා ආදරය වෙනුවෙන්.

ඒ විදිහේ ආදරයක් අවුරුදු තිස් හතකට පසුව මුණ ගැහීම හදවතේ කොතැනක හෝ බලාපොරොත්තුවක් විදිහට සඳරැස් විද්‍යා දෙපළගේම තියෙන්න ඇති.ඒත් ඒ මුණ ගැහීම සිදු වුණායින් පස්සේ ඒ දෙපළ වටා පැවතුණු සීමා මායිම්,වැට කඩුළු වලින් පැනලා යන එක කළු කුමාර දිශ්ඨියකින් බේරෙනවට වඩා අසීරූ කාර්‍යයක් බව ඔවුනට වැටහෙන්න ඇති.නියමාකාර පවුල් සම්බන්දතා වලට පිටින් අනියමේ බැඳීමක් ඇති වෙනවා නම් එතෙක් කල් ඔවුනොවුන් රැකගත්තු නිකැලැල් ප්‍රේමය බොහෝ සෙයින් පළුදු වෙන්න ඉඩ තිබුණා.ඒ නිසාම එකම එක වැලඳගැනීමකින් අනතුරුව නැවත උප්පතිය ලැබූ ආදරය උපන් ගෙයිම වළදාලා සඳරැස් විද්‍යා ගෙන් සමු ගෙන යන්න යනවා.....

ඝරසරප චිත්‍රපටය පුරාවට අපේ හිතේ ඇති කල හැඟුමන් වල උච්චතම අවස්ථාව විරහවෙන් පුරවලා,හිතින් දුක දරාගෙන ඇස් බැල්මකින් පමණක් නොකී වචන දහසක කතාවක් හුවමාරු කරගෙන ඔවුනොවුන් එකිනෙකාගෙන් සමුගැනීම ඝරසරප වෙනුවෙන් ඉතාම ඉහළ අවසානයක් සනිටුහන් කරනවා.

ජයන්ත චන්ද්‍රසිරි විසින් තමන්ගේ සිනමා ගමන පුරාවටම පුරුදු පුහුණු කරවපු විරහවත් රහක් කියන ආදරණීය පණිවිඩය නැවතත් අපේ හිත් වලට කාවද්දවනවා.....

Thursday, February 11, 2021

Lord of the rings

 

නවකතාවක් ඇසුරින් නිර්මාණය කරන ලද චිත්‍රපට අතුරින් වැඩිම ආදායමක් සහ ප්‍රේක්ශක ආකර්ශනයක් දිනාගත් චිත්‍රපටය වන්නේ ලොර්ඩ් ඔෆ්ද රින්ග්ස් චිත්‍රපට මාලාවය.
චිත්‍රපට තුනක් ආකාරයෙන් නිශ්පාදනය කරන ලද මෙය දැනට ලොව පුරා ප්‍රදර්ශනය කර ඇමරිකන් ඩොලර් බිලියන 3ක දැවැන්ත අදායමක් හිමිකර ගැනිමට සමත් විය, මෙය සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ශ පිටර් ජැක්සන් නිර්මාණයකි. මෙහි නවකතාව ප්‍රථම මුද්‍රණය 1957 ජුලි 29 දින බේදාහරින ලදි. මෙහි කතුවරයා ජේ ආර් ආර් ටොල්කින්‍ වේ. මේහි විශේෂත්වය නම් මෙහි ආරම්භයවු පලමු කතාව හොබිට් 1937දී මුද්‍රණය කොට බේදා හැරිමේන් අවුරුදු20ට පසු ලොර්ඩ් ඔෆ්ද රින්ග්ස් නිර්මාණය විමය. පුදුමය නම්  මෙම චිත්‍රපට මලාව කොපමන වාරයක් බැලුවත් එපා නොවීමයි.
එය එ තරමට ආකර්ශනීය ලෙස නිර්මාණය කිරිමට අධ්‍යක්ශක ඇතුලු කාර්‍යමන්ඩලය සමත්ව ඇත.
ලංකාවේත් කවදා මෙවන් නිර්මාණයක් දැක බලා ගැනිමට අපට හැකිවේද?  ඉතිහාස කතා වීර කාව්‍ය ඔනැතරම් අපටද තිබේ. 

Thursday, February 4, 2021

සූස්තී

ඒක හරි අමුතු කතාවක්. ෆිල්ම් එක පටන්ගන්නෙම suicide කරගන්න යන කෙල්ලෙක්ගෙන්. 

" තත්පරේක ප්‍රශ්නයක් නේ තියෙන්නෙ"  

ජීවත් වෙනව ද ? මැරෙනව ද? මැරෙන්න හිතපු susa ට අන්තිමට ජීවත් වෙන්න බලාපොරොත්තු ඇති කරවනවා මාලක. තත්පරෙත් ඇති මැරෙන්න ඉන්න කෙනෙක්ට ජීවත් වෙන්න. මැරෙනවට වඩා ජිවත් වෙන්න හේතූ තියෙනවා. මැරි මැරී ජීවත් වෙනවට වඩා ජීවිතේ විදින්න දේවල් එමටයි.  

අසමත් රාජ්‍යක පුරවැසියා මෙන්න.


Tuesday, February 2, 2021

Shutter Island හි සැඟවුණු යතාර්ථය...🔥🌊

Shutter Island කියන්නෙ මොන වගේ සුපිරි ෆිල්ම් එකක්ද කියලා ගොඩක් දෙනෙක් දන්නවා ඇතිනේ.. පිස්සන් කොටුවකට එක්කන් ගිහින් අන්තිමට බලන අපිවත් පිස්සො කරන්න Shutter Island නිර්මාණකරු වෙන Martin Scorsese සමත්වෙනවා කිව්වොත් නිවැරදි.. ඉතින් අපි මේ චිත්‍රපටිය බලාගෙන යද්දි අපිට කොහෙත්ම විශ්වාස කරන්න අමාරුම සත්‍යයක් තමයි චිත්‍රපටිය අවසාන මිනිත්තු කිහිපයේදි එලිදරවු වෙන්නෙ. නමුත් ඊට කලින් ඉදන්ම ඒ අමිහිරි සත්‍යය ගැන අඟවන ඉඟි මේ චිත්‍රපටිය පුරාම තිබුනා කියලා දැනගෙන හිටියද.. මං හිතන්නෙ මේවා ඔක්කොම නෝට් උනානම් ඒ දෙතුන් පාරක් වත් ෆිල්ම් එක සම්පූර්ණයෙන් බැලුවට පස්සෙ වෙන්න ඇති. ඉතින් අද අරගෙන ආවේ අන්න ඒ වගේ මේ චිත්‍රපටිය ඇතුලේ අපිට මුල ඉදන්ම ඉඟි කරත් නොපෙනුන යටි අරුත තේරුම් ගන්න පුලුවන් වෙන ඉඟි කිහිපයක්.. එහෙනම් Shutter Island බලපු අය විතරක් පහල ටික කියවන්න.. අනිත් අය දෙපාරක්වත් ෆිල්ම් එක බලලම කියවනවනම් තමයි හොඳ.. 

අපි ඔක්කොටම කලින් කතාකරන්න ඕන දේ තමයි මේ චිත්‍රපටියෙදි වතුර සහ ගින්දර කියන මූලධාතු දෙකෙන් දීලා තියෙන අර්ථය ගැන.. මේ සම්පූර්ණ කතාවම ගොඩනැගිලා තියෙන්නෙ මේ දෙකේ තිබෙන යටි අරුත මතයි. ඉතින් ඇත්තටම මේ කතාවෙදි ගින්දරෙන් සංකේතවත් කරන්නෙ Teddy විසින් මවාගන්න මායාවන්, ඔහුගේ හිතේ මැවෙන සහ මවාගන්නා දර්ශනයන්..🔥🔥 ඒ ආකාරයට Teddy විසින් සත්‍ය යටපත් කරලා මායාව ඇතුලෙ අතරමං වෙන සෑම අවස්ථාවකදිම එතන ගින්දර දකින්න ලැබෙනවා. මතකද එයා ගල් ගුහාවකදි ගිනි ගොඩක් ලඟ එයාම හිතින් මවාගනිපු Rachel Solando ව හමුවීම. ඇත්තටම මේ Rachel Solando කියලා සංකේතවත් වෙන්නෙත් Teddy ගෙම මියගිය බිරිඳ උන Dolores Chanal ව මයි. බලන්නකො මේ නම් දෙකම එකම අකුරු එකතුවෙලා නේද හැදෙන්නෙ කියලා. ඉතින් Rachel කියන්නෙත් ඒ වගේම Dolores ව සිහිපත්වෙන්න Teddy විසින්ම නිර්මාණය කරගනිපු මායාවක් පමණයි. ඊලඟට Teddy අතින් කාර් එකක් පිපිරිලා යන අවස්ථාවෙදි ඒ ගින්දර අතරින් එයාගෙ දරුවො සහ බිරිඳ මැවිලා පෙනුන විදිය.. අපිට මේ ගින්දර සහ මායාව අතර සම්බන්ධය ඉදිරියට කතාකරගෙන යන අවස්ථාවලදිත් හමුවෙනවා. 

ඊලඟට ජලය..🌊🌊 ජලය කියන්නෙ Teddy ව සත්‍යයට, යතාර්ථයට ලං කිරීමක්. Teddy තමන්ගේ මනසින් මවාගෙන ඉන්න බොරුවෙන් මිදිලා ඇත්ත දැනගන්න ආසන්න වන හැම අවස්ථාවෙදිම ඒ අවට ජලය දකින්න ලැබෙනවා. ඇත්තටම ජලය කියන්නෙ Teddy සැබෑවට අත්විඳින්න අකමැති අමිහිරි කටුක යතාර්ථය කියලා සලකන්න පුලුවන්. උදාහරණ විදියට දූපත වටා හමායන විශාල කුණාටුව ඔහුව දූපත තුලම තියාගෙන සත්‍යයට සමීප කරනවා. ඊලඟට ඔහුව යතාර්ථයට සමීප කරන සිහින වලදිත් අපිට වතුර ගලායන අවස්ථාවන් බොහෝමයක් දැකබලා ගන්න පුලුවන්. ඒවගේම Teddy තමන් අවසානයේ සත්‍ය හෙලිදරවු කරගන්න යන ප්‍රදීපාගාරය වෙත යන්නෙත් ජලයේ පිහිනා යාමෙනුයි. ඉතින් Teddy ක්‍රමක්‍රමයෙන් යතාර්ථයට ලංවීම ජලයෙන් අපූරුවට සංකේතවත් කරන්න මෙහි නිර්මාණකරුවා සමන් වෙලා තියෙනවා නේද.. 

එතකොට ඇත්තටම ඇයි මේ වතුරෙන් Teddy ගේ යතාර්ථය සංකේතවත් කරන්නෙ.. ඒක වෙන්නෙ මෙහෙමයි. අපිට ෆිල්ම් එක සම්පූර්ණයෙන් බැලුවම ඒකේ පෙන්වනවා Teddy ගේ නැත්නම් Anderw Laeddis ගේ ඇත්තම කතාව. ඒකෙදි එයාගෙ පවුල මැරෙන්නෙ ගිනි ගැනීමකින් නෙමෙයි. එයාගේ බිරිඳගේ මානසික රෝගය උත්සන්න වීමෙන් ඇය විසින් දරුවන්ව ජලයේ ගිල්වා මරා දැමුවට පස්සෙ ඒ අපරාදය නිසා වියරු වැටෙන Andrew අතින් වෙඩි තැබීමකින් තමයි බිරිඳ මියයන්නෙ. ඉතින් ඒකයි Anderw Laeddis ගේ ඇත්තම කතාව. ඒකෙන් මානසික රෝගියෙක් වෙන Andrew පස්සෙ තමන්ගෙ වැරැද්ද එයාගෙ හෘදසාක්ශියට වද දෙන නිසා තමන් විසින්ම මනසින් වෙනම මායාමය යතාර්ථයක් මවාගන්නවා.. ඒ යතාර්ථය අනුව එයා එයාගෙ බිරිඳගේ මිනීමරුවා නෙමෙයි. ඔහු මිනීමරුවට Anderw Laeddis කියලා තමන්ගේ සැබෑ නමින්ම වෙනම පෞර්ශත්වයක් දෙනවා. තමා Teddy Daniels විදියට තමන්ගේ පවුල මරාදැමූ පුද්ගලයා හොයාගෙන දඬුවම් දෙන කෙනෙක් විදියට ඔහු මනසින් මවාගන්නවා.. නරකම නෑ නේද වැඩේ..  අන්න ඒ විදියට මවාගත් යතාර්ථය තමයි අපි චිත්‍රපටිය අවසානය දක්වාම නරඹන්නෙ.. ඉතින් මේ මායාමය යතාර්ථයට ඇතුලුවීම Andrew ගේ නැත්නම් අපි කියමු Teddy ගේ මනසින් සංකේතවත් කරන්නෙ ගිනිදලු වලින්. ඒ නිසා මං උඩ කිව්වා වගේම මේ කතාවෙ ගින්දර තියෙන්නෙ කොතනද.. අන්න එතනදි අපි දකින්නෙ Teddy ගේ මනසින් එයාට දකින්න ඕන දේවල්.. ඊලඟට ජලය ගැන කිව්වම ඒක තමයි Andrew එහෙමත් නැත්නම් Teddy ව මේ අවුලට ඇදදමපු සිදුවීමට අදාලව ඔහුට වඩාත්ම මතක දේ. මොකද Teddy යතාර්ථයෙන් පලායෙන්නෙ එයාගෙ දරු පවුලගෙ මරණය එයාට දරාගන්න අමාරු නිසා. ඒකට හේතුව වෙන්නෙ දරුවන් දියේ ගිලී මියයාම. ඉතින් Teddy ට දරාගන්න අමාරු යතාර්ථය හා බැඳ තබන යතුර තමයි ජලය කියන්නෙ. අන්න ඒ නිසා අපි චිත්‍රපටිය හරහා දකින Teddy ගේ කතාවෙදි ජලය පවතින අවස්ථා කියන්නෙ ඇත්තටම Teddy යතාර්ථය දකින අවස්ථාවන්. හරි එහෙනම් අපි බලමු චිත්‍රපටය හරහා අපි දැකපු Teddy ගේ කතාව සහ ඇත්තම කතාව අතර වෙනස හොයාගන්න පුලුවන් තැන් ටිකක්.. ෆිල්ම් එක බලලා තාමත් ඇයි ඒ වෙලාවෙ එහෙම උනේ කියලා හිතන් ඉන්නවා නම් මේක කියෙව්වම ඒ ප්‍රශ්න ටිකට උත්තර ලැබේවි...

මුලින්ම බලමු Teddy මුලින්ම දූපතට පැමිණෙන ආකාරය පෙන්වන ආරම්භක දර්ශන කොටස. එතනදී තේරෙනවා නේද Teddy පුදුමාකාර අකමැත්තෙන්, අපහසුවෙන් තමයි නැවේ ගමන්කරන්නෙ. අපිට එතනදි ඒක මුහුදු යනකොට සාමාන්‍යයෙන් ඇතිවෙන්න පුලුවන් වමනය වගේ අසනීපයක් කියලා හිතුනත් එතනින් සංකේතවත් වෙන්නෙ Teddy ජලයට එහෙමත් නැත්නම් යතාර්ථයට දක්වන දැඩි අකමැත්තයි. ඉතින් චිත්‍රපටය ආරම්භයේදිම Teddy කියන්නෙ ඇත්තට මොනතරම් බය පුද්ගලයෙක්ද කියලා අපිට ඉඟියක් දෙනවා. 

ඊලඟට මතකද නැව් තොටේ ඉදපු පොලිස් නිලධාරීන් හැසිරුණු විදිය.. ඔවුන් Teddy දිහා හෙලන්නෙ මහ නුරුස්නා බැල්මක්. ඒ වගේම අතේ තියෙන තුවක්කු පවා ඒ වෙලාවෙදි සූදානම් කරගන්නවා දකින්න පුලුවන් නේ. අපිට මුලදි මේ සිදුවීම දැක්කම හිතෙන්නෙ මේක මේ දූපතේ වැඩිහරියක් ඉන්නෙ පිස්සො නිසා මේ පොලිස් නිලධාරීන්ගේ හැසිරීම ටිකක් අවුල් වෙලා වෙන්න ඇති කියලා නේද.. නෑ ඇත්තටම ඒකට හේතුවක් තියෙනව. මොකද Teddy කියන්නෙ පිස්සෙක් කියලා එයා නොදන්නවා උනාට එයා වටේ ඉන්න හැම කෙනාම ඒ වෙද්දිත් දන්නවා. ඉතින් අන්තරායකර මානසික රෝගියෙක් නිදහසේ හැසිරෙද්දි කෝකටත් කියලා තුවක්කුව සූදානම් කරගෙන රෙඩි පිට ඉන්න එක හොඳ නිසයි ඔවුන් ඒ විදියට හැසිරෙන්නෙ.. නැත්නම් මොනම වෙලාවක වත් US Marshal කෙනෙක්ට අර විදියට තුවක්කු දික් කරගෙන ඉන්න තරම් ඔවුන්ට පිස්සුවක් තියෙන්න විදියක් නෑනේ..

චිත්‍රපටියෙදි අපිට දකින්න ලැබෙනවා නේද මේ මානසික රෝහලේ ඉන්න මානසික රෝගීන් Teddy අඳුනනවා වගේ පෙන්නන යම් යම් ඉඟි කරන ආකාරය.. නමුත් එයාලා චක් ට එහෙම කරන්නෙ නෑ.. ඊලඟට දොස්තරවරුන් සහ හෙදියන් Teddy ඔවුන්ගෙන් ප්‍රශ්න කරනවිට නිතරම සිනහසෙනවා.. ඇත්තටම ඒ ඇයි. දැන් අපි බලමු Teddy කියන්නෙ පිස්සෙක් කියලා. එතකොට මේ හැමදේම ගානට ගැලපෙන හැටි පේනවා නේද.. පිස්සො තවත් එයාලත් එක්ක ඉන්න පිස්සෙක් දැක්කම අතවනනවා වගේම තමයි පිස්සොන්ට බෙහෙත් දෙන දොස්තර කෙනෙක්ව පිස්සෙක් විසින් ප්‍රශ්න කරද්දි එයාට හිනා යන්නෙ නැතුව තියේවිද..

දැන් තමයි කතාවෙ ආකර්ශනීයම කොටසට එන්නෙ.. මතකද chuck එයාගෙ පිස්තෝල රඳවනය අනිත් පැත්තට දාගෙන හිටපු අවස්ථාව.. එතනදි Teddy පවා Chuck දිහා මෝඩයෙක් දිහා බලනවා වගේ බැලුවත් ඒ පොඩි සිද්ධියෙන් තේරුම් ගන්න පුලුවන් දෙයක් තියෙනවා.. ඒ තමයි Chuck කවදාවත් Marshal කෙනෙක්ගේ සහයකයෙක් වෙන්න නම් විදියක් නෑ කියලා. මොකද කවදාවත් එහෙම කෙනෙක්ට ඔය වගේ වැරදීමක් වෙන්න විදියක් නැහැ. අපි ඒකට ලොකු අවධානයක් නොදුන්නට අන්න එතනින් අපිට තේරුම් ගන්න පුලුවන් Chuck කියන්නෙ ආයුධ ගැන කිසිම දෙයක් නොදන්න කෙනෙක් කියන වැදගත් කරුණ.. ඉතින් ඇත්තටම බැලුවොත් Chuck කියලා ඉන්නෙ Doctor Lester Sheehan නේ.. එයා මොනවද තුවක්කු ගැන දන්නෙ...

ඊලඟට මතකද Teddy විසින් Rachel Solando ව හොයන්න ගල් පරය වටේට පොලිස් නිලධාරීන් යොදවන අවස්ථාව. අන්න ඒ වෙලාවෙදි අපිට පේනවා මේ පොලිස් නිලධාරීන් හැසිරෙන්නෙ සාමාන්‍ය සෝදිසි මෙහෙයුමකදි හැසිරෙනවට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයේ ඇල්මැරුණු කම්මැලි ස්වභාවයකින්. මුලින්ම මේක දකිද්දි ඒක ගැන ඒ තරම් නොහිතන්න ඇති ගොඩක් දෙනෙක්.. නමුත් ෆිල්ම් එක බලපු අය දන්නවනෙ Rachel Solando කියලා ඇත්තටම කෙනෙක් නෑ, එයා Teddy විසින් මනසින් මවාගනිපු කෙනෙක් කියලා. ඉතින් ඇත්තටම පිස්සෙක්ගේ උවමනාවට මේ ලෝකෙ නැති මනුස්සයෙක් හොයන්න දඟලන්නෙ මොන පොලිස්කාරයද...

මේක තවත් අපූරු අවස්ථාවක්.. මතකද Teddy විසින් Bridget Kearns කියන වයසක කාන්තාවගෙන් ප්‍රශ්න කරන අවස්ථාව.. මෙන්න මේ සිදුවීම මේ කතාවෙ යටිපෙල කතාව ගැන ඉඟි රාශියක් දෙන කොටසක් කියලා දන්නවද.. අපි එකින් එක බලමු. මේ දෙන්නා ( Teddy සහ Bridget Kearns ) දෙන්නගේ පසුබිම දිහා බැලුවොත් අපිට බලාගන්න පුලුවන් ඒ අවස්ථා දෙකේදිම දෙන්නගෙම පිටිපස්සෙන් දුරට වෙන්න ආරක්ශකයෙක් බැගින් ඉන්නවා. නමුත් Chuck ව පෙන්නද්දි එහෙම කවුරුවත් නෑ. ඒ ඇයි කියලා හිතුනද.. ඇත්තටම එතනදි අවධානෙන් ඉන්න ඕන රෝගීන් දිහා නේ.. ඒ අනුව අපිට පේනවා හරියටම මෙතන ඉන්න රෝගීන් දෙන්නා දිගා ආරක්ශකයො ඇහැ ගහගෙන ඉන්නවා වගේමයි රෝගියෙක් නොවෙන වෛද්‍යවරයා දිහා කවුරුවත් බලාගෙන ඉන්නෙ නෑ.. තේරුනා නේද.. ඊලඟට මේකෙම පෙන්නනවා මතකද Chuck විසින් මේ කාන්තාවට වතුර වීදුරුවක් ගෙනත් දුන්නම එයා ඒක අතින් ගන්නවා සහ ඊටපස්සෙ අපි දකින්නෙ එයා වතුර වීදුරුව (දකුණු) අතේ නැතුව වතුර බීගෙන යනවා වගේ පෙන්නලා ආයෙම වම් අතින් හිස් වීදුරුවක් මේසෙ උඩින් තියනවා නේද.. බලපු අය හිතන්න ඇති මේ මොන විකාරයක්ද.. ෆිල්ම් එකේ editing වල වැරැද්දක්ද කියලා.. අපොයි කොහෙත්ම නෑ.. දන්නවනේ මේක Martin Scorsese ගේ ෆිල්ම් එකක්.. එයා මෙහෙම වැරැද්දක් නම් ලේසියෙන් කරන්නෙ නෑ.. මේ අපි දැකපු පොඩිම පොඩි විකාර දර්ශන කොටසට ලොකුම ලොකු හේතුවක් තියෙනවා.. ඒ තමයි මං කිව්වනේ Teddy හැම මොහොතකම යතාර්ථයට බයයි කියලා. ඉතින් යතාර්ථය සංකේතවත් වෙන්නෙ ජලයෙන්. අන්න ඒ නිසා Teddy ගේ මනස නිරායාසයෙන්ම ජලය කියන දේට ප්‍රතිරෝධයක් දක්වනවා. ඊලඟට අපි මේ දකින්නෙ Teddy ගේ මනසින් අපි දකින කතාව මිසක් ඇත්තම කතාව නෙමෙයි. අන්න ඒ නිසයි අර ගෑනු කෙනා අතේ තිබුන වතුර පිරුණු වීදුරුව සම්පූර්ණයෙන් අයින් කරලා වතුර බොන විදිය පෙන්නලා ඊටපස්සෙ වතුර හිස් උන වීදුරුව විතරක් අපිට පෙන්නුවෙ.. මේ හැමදේම කරන්නෙ Teddy ගේ මනසින්.. කොහොමද නේ.. මනසෙ වැඩකිඩ තමයි මේවා.. ඊලඟට මෙතනදිම Teddy අහනවා Doctor Sheehan කියන්නෙ කාටද කියලා. ඒ වෙලාවෙම මේ Bridget එකපාරටම Chuck දිහා ඇහැ කොනින් බලනවා දැක්කද.. ඒ මොකද Bridget ඒ වෙද්දිත් දන්නවා chuck කියලා අපි දකින්නෙ Doctor Sheehan කියලා. නමුත් ඒ වගේම Teddy ට තියෙන මානසික අවුල ගැන දන්න නිසා ඇය ඒක ප්‍රකාශ කරන්නෙ නම් නැහැ. ඒවගේම තමයි Teddy, Anderw Laeddis ගැන අහද්දිත් ඒ Teddy ම බව දැනගෙන හිටියත් ඇය ඒක ඔහුට කියන්නෙ නෑ. මොකද ඒ අවස්ථවෙත් Doctor Sheehan එහෙමත් නැත්නම් Chuck බලාගෙන ඉන්න නිසා. 

නමුත් ඇය ඊට පෙර Chuck වතුර ගේන්න ගිය අවස්ථාවෙදි Teddy ට මෙතනින් බේරෙන්න තියෙන එකම ක්‍රමය උන "Run" එහෙමත් නැත්නම් පණ බේරගෙන දුවන්න කියලා කොල කෑල්ලක ලියලා දුන්නත් පිස්සුවෙ හොඳම එකෙන් ඉන්න Teddy ට ඒක තේරෙන්නෙ නෑ.. නැත්නම් එයාගෙ මනස එයාට තේරුම් ගන්න දෙන්නෙ නැහැ..😑😑

මං උඩ කිව්වනේ ගින්දර කියන්නෙ Teddy ව මායාව වෙත සමීපවීම සංකේතවත් කරන්නක් කියලා. ඉතින් ෆිල්ම් එකේ අපි දකින මූණ විකෘති උන Anderw Laeddis මතකද.. ඉතින් දන්නවනෙ ඇත්තම Anderw Laeddis කියන්නෙ Teddy මයි කියලා. අන්න ඒ වෙලාවෙදි ඒ මැවිලා පෙනුනේ සම්පූර්ණයෙන්ම මායා දර්ශනයක්. එතන ගිනි උදුනෙ පැහැදිලිවම දැල්වෙනවා පෙන්නන ගිනිදැල් වලින් සහ මවාගත් Anderw Laeddis විසින් ගිනිකූරකින් Teddy ගේ සිගරට්ටුව පත්තු කිරීමත් ඒක සම්පූර්ණයෙන්ම මායාවක් බව අපිට ඉඟිකරනවා.. මේ වගේ තවත් අවස්ථාවක් තමයි  George Noyce සමග සිදුකරන කතාබහ.. ඇත්තටම එතනදි  George කියන හැමදේම ඇත්ත.. හැබැයි ඒ Teddy ගිනිකූරක් පත්තුකරනකන් විතරයි. එතනදි  George කියනවා එයාගෙ මූණෙ තියෙන තුවාල කැලැල් වලට වගකියන්න ඕන Teddy කියලා. ඒවගේම මතකද වතාවකදි කියනවා  George Noyce ට තවත් රෝගියෙක් සති දෙකකට කලින් පහර දීලා තියෙනවා කියලා. ඇත්තටම ඒ රෝගියා තමයි Anderw නැත්නම් අපි කතාවෙ දන්න Teddy. හැබැයි Teddy මේ වෙලාවෙ ගින්දර දැල්වීමත් එක්ක ඇත්ත යටපත් වෙලා ආයෙම මායාව මතුවෙනවා..

ඉතින් මේ තමයි Shutter Island තුල අපි දැක්ක මායාත්මක කතාන්තරයේ සැඟවුණු ඇත්තම කතාවට අපිව ලංකරන අවස්ථා.. ඇත්තම කිව්වොත් Shutter Island වලදි අපි මුල ඉදන්ම ඇත්ත දකිනවා. නමුත් අපේ මනස ඒ දේවල් වලට වඩා ප්‍රමුඛතාවය දෙන්නෙ මතුපිටින් පේන තේරුම් ගන්න පහසු Teddy ගේ මායාවටයි. ඉතින් මෙතනදි වෙන්නෙ Teddy වගේම අපිත් සත්‍ය පෙනි පෙනී මායාවක රැවටීමයි. පුදුමාකාරයි නේද.. සිනමාවේ මායාව කියන්නෙ මෙන්න මේ වගේ අවස්ථාවන්වලට.. අවිවාදයෙන්ම මේවා තමයි නියම සිනමා නිර්මාණ කියල හඳුන්වන්න පුලුවන්.. ඉතින් මේ වගේ විශිෂ්ඨ නිර්මාණ කරපු Martin Scorsese විසින් Marvel සිනමාපට Theme Park විදියට හැඳින්වීම එක්තරා අතකට වරදක් නැහැ. ඉතින් අවසානයට මං Teddy විසින් කියන සුප්‍රකට වාක්‍ය කොටස ගැනත් කියලම නතර කරන්නම්.. 

එතනදි ඒ මොහොත වෙනකොට Teddy නැත්තම් Anderw Laeddis තමන්ගේ මායාවෙන් මිදිලා ඇත්ත වටහාගෙනයි ඉන්නෙ. නමුත් වියයුතු පරිද්දෙන්ම එයා තමා ගැන, තමා අතින් උන අපරාධය ගැන මුලු හිතින්ම වේදනා විඳිනවා. එයා එයා ගැන ඒ මොහොත වෙද්දි හිතාගෙන ඉන්නෙ රාක්ශයෙක් කියලයි. තමන්ගේ පවුලම විනාශ කල රාක්ශයෙක්. ඉතින් Teddy ට විකල්ප දෙකක් ඉතුරුවෙලා තියෙනවා. එකක් තමයි තමන්ගේ ලෙඩේ සුව උන බව Doctor Sheehan ට පෙන්නලා හැමදාමත් හිතින් දුක් විඳ විඳ ජීවත් වෙන්න.. නැත්නම් තමන්ට අසනීපය තවමත් තිබෙන බව පෙන්නලා එවන් රෝගීන්ට අවසානයට සිදුකරණ සැත්කම සිදුකරලා මනසෙන් සියලුම දේ අමතක කරලා මනස අඩපණ කරගැනීම.. ( හැබැයි මේක කරන්නෙ අවසන් විකල්පය විදියට නැත්නම් ලෙඩේ සුව වෙන්නෙම නැත්නම් විතරයි) ඒකෙන් Andrew ට පුලුවන් සියලුම වේදනාකාරී මතකයන් නැතිකරගන්න ඉන්පස්සෙ මනස අඩපණ උනත් ජීවත් වෙලා හිතේ සතුටින් හොඳ මිනිහෙක් වගේ හිතාගෙන මැරෙන්න. ඉතින් කණගාටුවෙන් උනත් Andrew තෝරාගන්නෙ මේ දෙවෙනි විකල්පය. ඒ අනුව අවසාන වාක්‍ය කියන්න කලින් Doctor Sheehan ට Chuck කියලා තමන් තාමත් ලෙඩින් බව බොරුවට පෙන්නලා සැත්කම වෙනුවෙන් යන්න Andrew කටයුතු කරනවා. නමුත් යන්න කලින් Andrew, Dr Sheehan ට කියනව මේ දෙබස, 

"Which would be worse: To live as a monster, or to die as a good man?"

මේකෙන් කියන්නෙ මං කලින් කියපු දේම තමයි. තමන් දැන් ඉන්නවා වගේ රාක්ශයෙක් කියලා හිතාගෙන ජීවත් වීමද නැත්නම් මුකුත් නොදන්න හොඳ මිනිහෙක් ලෙසින් මියයාමද වඩාත් හොඳ කියලා Andrew, Dr Sheehan ගෙන් අහනවා. ඒකෙන් Sheehan දැනගන්නවා ඇත්තටම Andrew ට සනීපයි නමුත් එයා එයාගෙ කැමැත්තෙන්ම සැත්කම වෙනුවෙන් යනවා කියලා. නමුත් Dr Sheehan ඒ වෙලාවෙදි එයාව නවත්තන්නෙ නෑ..💔💔  එයා Andrew ගේ තීරණයට ගරු කරලා නිහඬව ඉන්න තීරණය කරනවා. ඉතින් ඔන්න ඕකයි Shutter Island හි අවසානය.. 

Sunday, January 24, 2021

දකුණු ඉන්දියාවේ ජරා ගොඩවල් වලට හිනාවෙමු..!

මම චිත්රපටයක් බලලා ගත්තු හොඳම අත්දැකීම ගත්තේ යාපනේදී. චිත්රපට ශාලාව යාපනය මැජෙස්ටික් සිනෙප්ලෙක්ස් එක. දවස 2019 මාර්තු දෙවෙනිදා. චිත්රපටය තඩම්. හෝල් එකේ ස්ක්රීන් 05 ක් ද කොහෙද තිබ්බා. ඔක්කෝම හවුස් ෆුල්. ස්ක්රීන් එකත් එක්ක, ඉන්න ඕඩියන්ස් එකේ Engagement එක 100% යි. ආයෙ අඩුවක් කියන්න දෙයක් නෑ. විහිලු වලට මාර සද්දෙට හිනා වෙනවා. වීරයා එද්දි කෑ ගහනවා. දුශ්ටයා ගුටි කද්දි හූ කියනවා. ආදර ජවනිකාවල දි ඒකට හරියන රිඇක්ශන් එක දෙනවා. මාරම ආතල්. ෆිල්ම් එක ඉවර වෙලා හෝල් එකෙන් එලියට බහිද්දී මුලු යාපනේ ටවුන් එක පුරාම සෙනග. හැම හෝල් එකකින්ම චිත්රපට බලලා එලියට එන සෙනග පාරේ.

මාතර Skylite එකේ වැඩකරන කාලේ මගේ ආසම දේ වුනේ ක්රවුඩ් එකත් එක්ක දෙමළ Film එකක පළවෙනි රාත්රී දර්ශනය බලන එක. ඒක මාරම මාරයි. හරිම Energetic ඕඩියන්ස් එකක්. යාපනේ තරම්ම නැති වුණත්, කොහේ වුණත් දෙමළ චිත්රපටයක් බලන්න එකතු වෙන සෙට් එක වෙනම ආතල් එකක් ගන්නවා. ගිය අවුරුද්දේ ඩර්බාර් බලන්න ආපු කිහිප දෙනෙකුට අපි T Shirts තෑගි විදිහට දුන්නා. ඒකේ ෆොටෝ එකක් දාන්නෙ ආඩම්බරේට. ඇත්තටම මේ ප්රේක්ශකයන් අපට ගොඩක් වටිනවා.

පළවෙනි දවසේ එන්නේ කොල්ලෝ විතරයි. දෙවෙනි තුන් වෙනි දවස් වෙද්දි ගෑණු අය එනවා. පවුල් පිටින් එනවා. පොඩි උං එක්කගෙන අම්මලා තාත්තලා එනවා. අවුලක් නෑ. ගොඩක් ඒවයේ එහෙම ලොකුවට ලේ නෑ. හාදු නෑ. සෙක්ස් නෑ. ෆුල් ෆැමිලි ආතල්. පයින් එකක් දුන්නත් මීටර් දෙක තුනක් උඩට විසික් වෙලා වැටෙනවා ඇරෙන්න ලොකු ආබාධයක් එහෙම වෙන්නෙ නෑ. ඉතින් ප්රශ්නයක් නෑ.
හැබැයි මම 2015 එක දවසක් ප්රවේගය බලද්දි එහෙම සිංහල ක්රවුඩ් එකක් දැකලා තියෙනවා ඇරෙන්න, කවදාවත් සිංහල සිනමාපටයක් වෙනුවෙන් එහෙම ඕඩියන්ස් එකේ Engagement එකක් දැකලා නෑ. ඒක නැති වුණාට කමක් නෑ. චිත්රපට බලන්න සෙනග එනවනම්. ඔය "සිරි පැරකුම්" වගේ ව්යතිරේඛී සිනමාපට ටිකක් අයින් කරලා දැම්මම ඉතුරුවා බලන්න ආපු ජනගහණය ගැන කතා කරලා වැඩකුත් නෑ. ඉඳලා හිටලා යලට මහට කරුමෙට පිටපලාතක සිනමා ශාලාවක් Housefull වුනොත් ඇරෙන්න, සිංහල සිනමාපටයක් වෙනුවෙන් එහෙම වෙනවා හරිම අඩුයි. මිනිස්සු සිංහල චිත්රපට කරන්න බය ඒකයි. අලුත් අයට අලුත් අත්හදාබැලීම් කරන්න සල්ලි වෙන් කරන්න තරම් නිර්භීත නිශ්පාදකයෝ නැති වෙන්නේ ඒකයි.

"ඒකයි" කියන්නේ කෝකද..?

ෆිල්ම් බලන්න සෙනග නෑ. උදේට එන්නේ බොක්ස් යන්න එන ජෝඩු. එහෙම නැත්නම් පන්ති කට් කරලා යන්න තැනක් නැතුව එන නව යොවුන් ආදරවන්තයෝ, ආදරවන්තියෝ. දවල්ට එන්නෙත් බොහෝ දුරට ක්ලාස් කට් කරලා එන ළමයි. හොඳ ඉංග්රීසි හෝ Kids Movie එකක් නැත්නම් හැන්දෑවේ දර්ශන බොහෝ දුරට අවලංගුයි. සතිඅන්තයක ඇරෙන්න සතියේ දවසක නම් රෑට මිනිස්සු සිංහල චිත්රපටයක් බලන්න එන්නේ හරි අඩුවෙන්. ලොකූ පවුලක් දහයක් විතර එක්ක ඇවිත් චිත්රපටයක් බැලුවොත් ඇරෙන්න සිනමා ශාලා බොහෝ විට රෑ දර්ශනය නොපෙන්නාම වහලා දානවා. හොඳ ඉංග්රීසි චිත්රපටයක් වුනත් පිටපලාත් වලට එන්නෙ නෑ. ආවත් බලන්නෙ නෑ කියලා සිනමා ශාලා හිමියන් දන්නවා. Ford vs Ferrari කියන අග්රගණ්ය සිනමාපටය සිනමාශාලා වලට දැම්මම ඒක බලන්න උවමනා වුණු මාතර මිනිස්සු හිටියේ අතේ ඇඟිලි ගාණටත් වඩා අඩුවෙන්.

Facebook එකේ බැලුවොත් ඇත්නම් දාස් ගාණක් මිනිස්සු චිත්රපට එනකන් බලන් ඉන්නවා වගේ පේන්නේ. ඒත් ඒක බොරුවක්. මේ ලියන, මේ කමෙන්ට් කරන උංගෙන් බහුතරය බලාගෙන ඉන්නේ BR Rip එකක් එනකන්, ෆිල්ම් එක ලීක් වෙලා කොහේ හරි වෙබ් සයිට් එකකට වැටෙනකන්, ටීවී එකේ පෙන්නනකන්. ඇත්තම තත්වය ඕකයි.

හැබැයි උංගෙ අනිත් වැඩේ Facebook එක පුරාවට දෙමළ චිත්රපටයක පෝස්ටරයක්, වීඩියෝ කෑල්ලක් දැම්ම ගමන් වටවෙලා හිනාවෙන එක. උං දන්නෙ නෑ දෙමළ චිත්රපට සහ දෙමළ චිත්රපට ප්රේක්ශකයෝ ලංකාවේ සිනමාව කර්මාන්තයක් විදිහට ස්ථාවරව තියන්න කොච්චර උදවුවක් දෙනවද කියන එක. උදාහරණ කීපයක් දෙන්නම්.

1. විජෙයි කියන දෙමළ නලුවාගේ 2017 අවුරුද්දේ ආපු Mersel චිත්රපටය ඉන්දියානු රුපියල් කෝටි 5.24 ක් හොයාගෙන තියෙනවා ලංකාව ඇතුලෙදී. ලංකාවේ මුදලින්නම් කෝටි 13 හමාරක් හොයලා තියෙනවා. මේක ලංකාවෙ සිනමාපටයකට වුණත් Achieve කරගන්න එච්චර ලේසි නැති ටිකක් ලොකු ගාණක්.
2. විජෙයි, රජ්නි කාන්ත්, අජිත්, වික්රම්, ධනුශ්, ප්රබාස්, යාශ් ආදී දකුණු ඉන්දියානු නලුවන්ගේ නිර්මාණ වල හැම පූර්ව ප්රචාරක පටයක්ම ලංකාව ඇතුලේ Trending එනවා. සමහරවෙලාවට පූර්ව ප්රචාරක පට බලන්න විතරක් සිනමා ශාලාවලට එන ප්රේක්ශකයෝ ඉන්නවා.

3. විජෙයි සහ රජ්නි කාන්ත් යන නලුවන්ගේ සිනමාපට වෙනුවෙන් බොහෝ සිනමා ශාලාවල විශාල කටවුට් නිර්මාණය වෙනවා. මේ බොහෝ කටවුට් නිර්මාණය වෙන්නේ ප්රේක්ශකයන් අතින්. ඔවුන්ගේ සල්ලි වලින්.

4. දෙමළ චිත්රපට පමණක් පෙන්වන සිනමාශාලාවල බොහෝ විට රාත්රී දර්ශන Housefull වෙනවා. චිත්රපටයක් ආවම මාතර වුනත් රාත්රී දර්ශනය ප්රේක්ශකයන්ගෙන් පිරී යනවා.

5. හෙට (ජනවාරි 13) තිරගත වීම අරඹන, විජෙයි සහ විජෙයි සේතුපති රංගනයෙන් දායක වන "මාස්ටර්" චිත්රපටය වෙනුවෙන් 25% ක් වුණු ආසන ධාරිතාවය 50% ක් දක්වා වැඩි කරන්න රජය තීරණය කලා. ඒකෙනුත් අදහසක් ගන්න පුලුවන්නේ මේ ප්රේක්ශකයන් ගැන.

6. ඒ අනුව 13 වැනිදා සිට ලාංකේය සිනමා ශාලා 75 කට ආසන්න සංඛ්යාවක මේක තිරගත කරන්න සූදානම් කරලා තියෙනවා. ලංකාව ඇතුලේ සිංහල චිත්රපටයක් සිනමා ශාලා 75 ක පෙන්නන්නත් ලොකු ගේමක් දෙන්න ඕන බව අමතක නොකරන්න.

7. 13 සහ 14 යන දෙදින තුල ලංකාවේ සිනමා ශාලා වල "මාස්ටර්" සිනමාපටය වෙනුවෙන් දර්ශන වාර 700 ත් 1000 ත් අතර ප්රමාණයක් සූදානම් කරලා තියෙනවා.
8. එයින් බොහොමයක් දර්ශන දැනටත් Housefull වෙලා, එහෙම නැත්නම් Housefull වෙන්න ආසන්නයි.
මේ තමයි ලාංකීය දෙමළ සිනමා ප්රේක්ශකයා සහ ඉන්දියානු දෙමළ සිනමාව ලංකාවේ සිනමා කර්මාන්තයට කරනා බලපෑම. "මාස්ටර්" හෙට ඉඳලා ප්රදර්ශනය වෙන කොට, දමිළ හෝ මුස්ලිම් ප්රේක්ශකයන් ඉන්න සිනමාශාලාවකට ගියොත් මේක සජීවීව අත් විඳින්න ඔබට අවස්ථාව ලැබේවි.
මේ සිනමාපට හරිම සරලයි. ලින්ච්ගෙ නෙමෙයි නෝලන්ගෙ ටයිප් තරම්වත් හිතන්න බැරෑරුම් දෙයක් මේ සිනමාපට ඇතුලේ නෑ. වීරයෙක්, දුශ්ටයෙක්, ආදරවන්තියක් කියන ටූල්ස් ටික ඉන්නවා. ඔය ටික පාවිච්චි කරලා ටිපිකල් මසාලාවක් කරනවද, වික්රම් වේදා, පයියෙරුම් පෙරුමාල්, කයිති වගේ වැඩක් කරනව ද කියන එක ඩිරෙක්ටර් ස' ට භාරයි. ඔය ටූල්ස් ටික හරියට පාවිච්චි කරන්න ඩිරෙක්ටර් ස' ට පුලුවන්නම් පොර දිනනවා. නැත්නම් පරාදයි.

යුරෝපියානු සහ ඇමෙරිකානු සිනමාව එන්නේ ඒ ඒ ප්රේක්ශකයන් වෙනුවෙන්. යුරෝපයේ එහෙම වගේ ඒසී කාමරයක රැකියාව කරලා, සුඛෝපභෝගී ප්රවාහණ සේවයක් ආධාරයෙන් ගෙදර ඇවිල්ලා, වොශ් එකක් දාගෙන, වයින් වීදුරුවක් බීලා, නිදහස් පාඩුවේ සිනමාපටයක් බලන්න යන මානසිකත්වයක් ඉන්දියානු ජනතාවට හෝ බහුතර ලාංකීය ජනතාවට නෑ. මේ එදා වේල හම්බකරන මිනිස්සු තමන් දවසේ හොයන කුලී මුදලෙන් කොටසක් වියදම් කරලා බලන්න එන චිත්රපට. ඉන්දියානු දමිළ සිනමාව කියන්නේ, තමිල්නාඩුවේ චෙන්නායි වල මුඩුක්කු වල ඉන්න මිනිස්සුයි, මහා ධනපතියොයි පැය තුනකට විතර එකතු කරන එකම පාලම.

සුප්රකට චෙන්නායි නගරයේ 30% ක් වුණු ජනතාවක් අදටත් ඉන්නේ මුඩුක්කු වල. සිනමා තිරය කියන්නේ උංගේ හීන හැබෑ වෙන එකම තැන. උංගෙ පන්තියේ එවුන් ධනපතියන්ට අභියෝග කරන එකම තැන. උංගේ පන්තියේ කොල්ලෙක්, ධනපති පන්තියේ කෙල්ලෙක්ව බැඳගන්න එකම තැන. සිනමාව කියන්නේ දකුණු ඉන්දියාවේ මිනිස්සුන්ට හීන සාප්පුවක්. අපිත් උංට වඩා ගොඩාක් වෙනස්, දියුණු රටක මිනිස්සු නෙමෙයි. එහෙම හිතලවත් ලොකු මහත්තුරු නෝනලා උංට හිනාවෙන්නෙපා. පවු..!




Kamali from Nadukkaveri 2021

  සුපිරිම ෆිලිම් එකක් 🔥❤👌 ( Recommend ) සුපිරියටම සෙට් උන ෆිලිම් එකක්.  A/L කරන O/L කරන වගෙම කැම්පස් ගියපු. තමන්ගේ හීනයක් වෙනුවෙන් මහන්සී ...