අපි ඔක්කොටම කලින් කතාකරන්න ඕන දේ තමයි මේ චිත්‍රපටියෙදි වතුර සහ ගින්දර කියන මූලධාතු දෙකෙන් දීලා තියෙන අර්ථය ගැන.. මේ සම්පූර්ණ කතාවම ගොඩනැගිලා තියෙන්නෙ මේ දෙකේ තිබෙන යටි අරුත මතයි. ඉතින් ඇත්තටම මේ කතාවෙදි ගින්දරෙන් සංකේතවත් කරන්නෙ Teddy විසින් මවාගන්න මායාවන්, ඔහුගේ හිතේ මැවෙන සහ මවාගන්නා දර්ශනයන්..🔥🔥 ඒ ආකාරයට Teddy විසින් සත්‍ය යටපත් කරලා මායාව ඇතුලෙ අතරමං වෙන සෑම අවස්ථාවකදිම එතන ගින්දර දකින්න ලැබෙනවා. මතකද එයා ගල් ගුහාවකදි ගිනි ගොඩක් ලඟ එයාම හිතින් මවාගනිපු Rachel Solando ව හමුවීම. ඇත්තටම මේ Rachel Solando කියලා සංකේතවත් වෙන්නෙත් Teddy ගෙම මියගිය බිරිඳ උන Dolores Chanal ව මයි. බලන්නකො මේ නම් දෙකම එකම අකුරු එකතුවෙලා නේද හැදෙන්නෙ කියලා. ඉතින් Rachel කියන්නෙත් ඒ වගේම Dolores ව සිහිපත්වෙන්න Teddy විසින්ම නිර්මාණය කරගනිපු මායාවක් පමණයි. ඊලඟට Teddy අතින් කාර් එකක් පිපිරිලා යන අවස්ථාවෙදි ඒ ගින්දර අතරින් එයාගෙ දරුවො සහ බිරිඳ මැවිලා පෙනුන විදිය.. අපිට මේ ගින්දර සහ මායාව අතර සම්බන්ධය ඉදිරියට කතාකරගෙන යන අවස්ථාවලදිත් හමුවෙනවා.
ඊලඟට ජලය..🌊🌊 ජලය කියන්නෙ Teddy ව සත්‍යයට, යතාර්ථයට ලං කිරීමක්. Teddy තමන්ගේ මනසින් මවාගෙන ඉන්න බොරුවෙන් මිදිලා ඇත්ත දැනගන්න ආසන්න වන හැම අවස්ථාවෙදිම ඒ අවට ජලය දකින්න ලැබෙනවා. ඇත්තටම ජලය කියන්නෙ Teddy සැබෑවට අත්විඳින්න අකමැති අමිහිරි කටුක යතාර්ථය කියලා සලකන්න පුලුවන්. උදාහරණ විදියට දූපත වටා හමායන විශාල කුණාටුව ඔහුව දූපත තුලම තියාගෙන සත්‍යයට සමීප කරනවා. ඊලඟට ඔහුව යතාර්ථයට සමීප කරන සිහින වලදිත් අපිට වතුර ගලායන අවස්ථාවන් බොහෝමයක් දැකබලා ගන්න පුලුවන්. ඒවගේම Teddy තමන් අවසානයේ සත්‍ය හෙලිදරවු කරගන්න යන ප්‍රදීපාගාරය වෙත යන්නෙත් ජලයේ පිහිනා යාමෙනුයි. ඉතින් Teddy ක්‍රමක්‍රමයෙන් යතාර්ථයට ලංවීම ජලයෙන් අපූරුවට සංකේතවත් කරන්න මෙහි නිර්මාණකරුවා සමන් වෙලා තියෙනවා නේද..
එතකොට ඇත්තටම ඇයි මේ වතුරෙන් Teddy ගේ යතාර්ථය සංකේතවත් කරන්නෙ.. ඒක වෙන්නෙ මෙහෙමයි. අපිට ෆිල්ම් එක සම්පූර්ණයෙන් බැලුවම ඒකේ පෙන්වනවා Teddy ගේ නැත්නම් Anderw Laeddis ගේ ඇත්තම කතාව. ඒකෙදි එයාගෙ පවුල මැරෙන්නෙ ගිනි ගැනීමකින් නෙමෙයි. එයාගේ බිරිඳගේ මානසික රෝගය උත්සන්න වීමෙන් ඇය විසින් දරුවන්ව ජලයේ ගිල්වා මරා දැමුවට පස්සෙ ඒ අපරාදය නිසා වියරු වැටෙන Andrew අතින් වෙඩි තැබීමකින් තමයි බිරිඳ මියයන්නෙ. ඉතින් ඒකයි Anderw Laeddis ගේ ඇත්තම කතාව. ඒකෙන් මානසික රෝගියෙක් වෙන Andrew පස්සෙ තමන්ගෙ වැරැද්ද එයාගෙ හෘදසාක්ශියට වද දෙන නිසා තමන් විසින්ම මනසින් වෙනම මායාමය යතාර්ථයක් මවාගන්නවා.. ඒ යතාර්ථය අනුව එයා එයාගෙ බිරිඳගේ මිනීමරුවා නෙමෙයි. ඔහු මිනීමරුවට Anderw Laeddis කියලා තමන්ගේ සැබෑ නමින්ම වෙනම පෞර්ශත්වයක් දෙනවා. තමා Teddy Daniels විදියට තමන්ගේ පවුල මරාදැමූ පුද්ගලයා හොයාගෙන දඬුවම් දෙන කෙනෙක් විදියට ඔහු මනසින් මවාගන්නවා.. නරකම නෑ නේද වැඩේ.. අන්න ඒ විදියට මවාගත් යතාර්ථය තමයි අපි චිත්‍රපටිය අවසානය දක්වාම නරඹන්නෙ.. ඉතින් මේ මායාමය යතාර්ථයට ඇතුලුවීම Andrew ගේ නැත්නම් අපි කියමු Teddy ගේ මනසින් සංකේතවත් කරන්නෙ ගිනිදලු වලින්. ඒ නිසා මං උඩ කිව්වා වගේම මේ කතාවෙ ගින්දර තියෙන්නෙ කොතනද.. අන්න එතනදි අපි දකින්නෙ Teddy ගේ මනසින් එයාට දකින්න ඕන දේවල්.. ඊලඟට ජලය ගැන කිව්වම ඒක තමයි Andrew එහෙමත් නැත්නම් Teddy ව මේ අවුලට ඇදදමපු සිදුවීමට අදාලව ඔහුට වඩාත්ම මතක දේ. මොකද Teddy යතාර්ථයෙන් පලායෙන්නෙ එයාගෙ දරු පවුලගෙ මරණය එයාට දරාගන්න අමාරු නිසා. ඒකට හේතුව වෙන්නෙ දරුවන් දියේ ගිලී මියයාම. ඉතින් Teddy ට දරාගන්න අමාරු යතාර්ථය හා බැඳ තබන යතුර තමයි ජලය කියන්නෙ. අන්න ඒ නිසා අපි චිත්‍රපටිය හරහා දකින Teddy ගේ කතාවෙදි ජලය පවතින අවස්ථා කියන්නෙ ඇත්තටම Teddy යතාර්ථය දකින අවස්ථාවන්. හරි එහෙනම් අපි බලමු චිත්‍රපටය හරහා අපි දැකපු Teddy ගේ කතාව සහ ඇත්තම කතාව අතර වෙනස හොයාගන්න පුලුවන් තැන් ටිකක්.. ෆිල්ම් එක බලලා තාමත් ඇයි ඒ වෙලාවෙ එහෙම උනේ කියලා හිතන් ඉන්නවා නම් මේක කියෙව්වම ඒ ප්‍රශ්න ටිකට උත්තර ලැබේවි...
මුලින්ම බලමු Teddy මුලින්ම දූපතට පැමිණෙන ආකාරය පෙන්වන ආරම්භක දර්ශන කොටස. එතනදී තේරෙනවා නේද Teddy පුදුමාකාර අකමැත්තෙන්, අපහසුවෙන් තමයි නැවේ ගමන්කරන්නෙ. අපිට එතනදි ඒක මුහුදු යනකොට සාමාන්‍යයෙන් ඇතිවෙන්න පුලුවන් වමනය වගේ අසනීපයක් කියලා හිතුනත් එතනින් සංකේතවත් වෙන්නෙ Teddy ජලයට එහෙමත් නැත්නම් යතාර්ථයට දක්වන දැඩි අකමැත්තයි. ඉතින් චිත්‍රපටය ආරම්භයේදිම Teddy කියන්නෙ ඇත්තට මොනතරම් බය පුද්ගලයෙක්ද කියලා අපිට ඉඟියක් දෙනවා.
ඊලඟට මතකද නැව් තොටේ ඉදපු පොලිස් නිලධාරීන් හැසිරුණු විදිය.. ඔවුන් Teddy දිහා හෙලන්නෙ මහ නුරුස්නා බැල්මක්. ඒ වගේම අතේ තියෙන තුවක්කු පවා ඒ වෙලාවෙදි සූදානම් කරගන්නවා දකින්න පුලුවන් නේ. අපිට මුලදි මේ සිදුවීම දැක්කම හිතෙන්නෙ මේක මේ දූපතේ වැඩිහරියක් ඉන්නෙ පිස්සො නිසා මේ පොලිස් නිලධාරීන්ගේ හැසිරීම ටිකක් අවුල් වෙලා වෙන්න ඇති කියලා නේද.. නෑ ඇත්තටම ඒකට හේතුවක් තියෙනව. මොකද Teddy කියන්නෙ පිස්සෙක් කියලා එයා නොදන්නවා උනාට එයා වටේ ඉන්න හැම කෙනාම ඒ වෙද්දිත් දන්නවා. ඉතින් අන්තරායකර මානසික රෝගියෙක් නිදහසේ හැසිරෙද්දි කෝකටත් කියලා තුවක්කුව සූදානම් කරගෙන රෙඩි පිට ඉන්න එක හොඳ නිසයි ඔවුන් ඒ විදියට හැසිරෙන්නෙ.. නැත්නම් මොනම වෙලාවක වත් US Marshal කෙනෙක්ට අර විදියට තුවක්කු දික් කරගෙන ඉන්න තරම් ඔවුන්ට පිස්සුවක් තියෙන්න විදියක් නෑනේ..
චිත්‍රපටියෙදි අපිට දකින්න ලැබෙනවා නේද මේ මානසික රෝහලේ ඉන්න මානසික රෝගීන් Teddy අඳුනනවා වගේ පෙන්නන යම් යම් ඉඟි කරන ආකාරය.. නමුත් එයාලා චක් ට එහෙම කරන්නෙ නෑ.. ඊලඟට දොස්තරවරුන් සහ හෙදියන් Teddy ඔවුන්ගෙන් ප්‍රශ්න කරනවිට නිතරම සිනහසෙනවා.. ඇත්තටම ඒ ඇයි. දැන් අපි බලමු Teddy කියන්නෙ පිස්සෙක් කියලා. එතකොට මේ හැමදේම ගානට ගැලපෙන හැටි පේනවා නේද.. පිස්සො තවත් එයාලත් එක්ක ඉන්න පිස්සෙක් දැක්කම අතවනනවා වගේම තමයි පිස්සොන්ට බෙහෙත් දෙන දොස්තර කෙනෙක්ව පිස්සෙක් විසින් ප්‍රශ්න කරද්දි එයාට හිනා යන්නෙ නැතුව තියේවිද..
දැන් තමයි කතාවෙ ආකර්ශනීයම කොටසට එන්නෙ.. මතකද chuck එයාගෙ පිස්තෝල රඳවනය අනිත් පැත්තට දාගෙන හිටපු අවස්ථාව.. එතනදි Teddy පවා Chuck දිහා මෝඩයෙක් දිහා බලනවා වගේ බැලුවත් ඒ පොඩි සිද්ධියෙන් තේරුම් ගන්න පුලුවන් දෙයක් තියෙනවා.. ඒ තමයි Chuck කවදාවත් Marshal කෙනෙක්ගේ සහයකයෙක් වෙන්න නම් විදියක් නෑ කියලා. මොකද කවදාවත් එහෙම කෙනෙක්ට ඔය වගේ වැරදීමක් වෙන්න විදියක් නැහැ. අපි ඒකට ලොකු අවධානයක් නොදුන්නට අන්න එතනින් අපිට තේරුම් ගන්න පුලුවන් Chuck කියන්නෙ ආයුධ ගැන කිසිම දෙයක් නොදන්න කෙනෙක් කියන වැදගත් කරුණ.. ඉතින් ඇත්තටම බැලුවොත් Chuck කියලා ඉන්නෙ Doctor Lester Sheehan නේ.. එයා මොනවද තුවක්කු ගැන දන්නෙ...
ඊලඟට මතකද Teddy විසින් Rachel Solando ව හොයන්න ගල් පරය වටේට පොලිස් නිලධාරීන් යොදවන අවස්ථාව. අන්න ඒ වෙලාවෙදි අපිට පේනවා මේ පොලිස් නිලධාරීන් හැසිරෙන්නෙ සාමාන්‍ය සෝදිසි මෙහෙයුමකදි හැසිරෙනවට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයේ ඇල්මැරුණු කම්මැලි ස්වභාවයකින්. මුලින්ම මේක දකිද්දි ඒක ගැන ඒ තරම් නොහිතන්න ඇති ගොඩක් දෙනෙක්.. නමුත් ෆිල්ම් එක බලපු අය දන්නවනෙ Rachel Solando කියලා ඇත්තටම කෙනෙක් නෑ, එයා Teddy විසින් මනසින් මවාගනිපු කෙනෙක් කියලා. ඉතින් ඇත්තටම පිස්සෙක්ගේ උවමනාවට මේ ලෝකෙ නැති මනුස්සයෙක් හොයන්න දඟලන්නෙ මොන පොලිස්කාරයද...
මේක තවත් අපූරු අවස්ථාවක්.. මතකද Teddy විසින් Bridget Kearns කියන වයසක කාන්තාවගෙන් ප්‍රශ්න කරන අවස්ථාව.. මෙන්න මේ සිදුවීම මේ කතාවෙ යටිපෙල කතාව ගැන ඉඟි රාශියක් දෙන කොටසක් කියලා දන්නවද.. අපි එකින් එක බලමු. මේ දෙන්නා ( Teddy සහ Bridget Kearns ) දෙන්නගේ පසුබිම දිහා බැලුවොත් අපිට බලාගන්න පුලුවන් ඒ අවස්ථා දෙකේදිම දෙන්නගෙම පිටිපස්සෙන් දුරට වෙන්න ආරක්ශකයෙක් බැගින් ඉන්නවා. නමුත් Chuck ව පෙන්නද්දි එහෙම කවුරුවත් නෑ. ඒ ඇයි කියලා හිතුනද.. ඇත්තටම එතනදි අවධානෙන් ඉන්න ඕන රෝගීන් දිහා නේ.. ඒ අනුව අපිට පේනවා හරියටම මෙතන ඉන්න රෝගීන් දෙන්නා දිගා ආරක්ශකයො ඇහැ ගහගෙන ඉන්නවා වගේමයි රෝගියෙක් නොවෙන වෛද්‍යවරයා දිහා කවුරුවත් බලාගෙන ඉන්නෙ නෑ.. තේරුනා නේද.. ඊලඟට මේකෙම පෙන්නනවා මතකද Chuck විසින් මේ කාන්තාවට වතුර වීදුරුවක් ගෙනත් දුන්නම එයා ඒක අතින් ගන්නවා සහ ඊටපස්සෙ අපි දකින්නෙ එයා වතුර වීදුරුව (දකුණු) අතේ නැතුව වතුර බීගෙන යනවා වගේ පෙන්නලා ආයෙම වම් අතින් හිස් වීදුරුවක් මේසෙ උඩින් තියනවා නේද.. බලපු අය හිතන්න ඇති මේ මොන විකාරයක්ද.. ෆිල්ම් එකේ editing වල වැරැද්දක්ද කියලා.. අපොයි කොහෙත්ම නෑ.. දන්නවනේ මේක Martin Scorsese ගේ ෆිල්ම් එකක්.. එයා මෙහෙම වැරැද්දක් නම් ලේසියෙන් කරන්නෙ නෑ.. මේ අපි දැකපු පොඩිම පොඩි විකාර දර්ශන කොටසට ලොකුම ලොකු හේතුවක් තියෙනවා.. ඒ තමයි මං කිව්වනේ Teddy හැම මොහොතකම යතාර්ථයට බයයි කියලා. ඉතින් යතාර්ථය සංකේතවත් වෙන්නෙ ජලයෙන්. අන්න ඒ නිසා Teddy ගේ මනස නිරායාසයෙන්ම ජලය කියන දේට ප්‍රතිරෝධයක් දක්වනවා. ඊලඟට අපි මේ දකින්නෙ Teddy ගේ මනසින් අපි දකින කතාව මිසක් ඇත්තම කතාව නෙමෙයි. අන්න ඒ නිසයි අර ගෑනු කෙනා අතේ තිබුන වතුර පිරුණු වීදුරුව සම්පූර්ණයෙන් අයින් කරලා වතුර බොන විදිය පෙන්නලා ඊටපස්සෙ වතුර හිස් උන වීදුරුව විතරක් අපිට පෙන්නුවෙ.. මේ හැමදේම කරන්නෙ Teddy ගේ මනසින්.. කොහොමද නේ.. මනසෙ වැඩකිඩ තමයි මේවා.. ඊලඟට මෙතනදිම Teddy අහනවා Doctor Sheehan කියන්නෙ කාටද කියලා. ඒ වෙලාවෙම මේ Bridget එකපාරටම Chuck දිහා ඇහැ කොනින් බලනවා දැක්කද.. ඒ මොකද Bridget ඒ වෙද්දිත් දන්නවා chuck කියලා අපි දකින්නෙ Doctor Sheehan කියලා. නමුත් ඒ වගේම Teddy ට තියෙන මානසික අවුල ගැන දන්න නිසා ඇය ඒක ප්‍රකාශ කරන්නෙ නම් නැහැ. ඒවගේම තමයි Teddy, Anderw Laeddis ගැන අහද්දිත් ඒ Teddy ම බව දැනගෙන හිටියත් ඇය ඒක ඔහුට කියන්නෙ නෑ. මොකද ඒ අවස්ථවෙත් Doctor Sheehan එහෙමත් නැත්නම් Chuck බලාගෙන ඉන්න නිසා.
නමුත් ඇය ඊට පෙර Chuck වතුර ගේන්න ගිය අවස්ථාවෙදි Teddy ට මෙතනින් බේරෙන්න තියෙන එකම ක්‍රමය උන "Run" එහෙමත් නැත්නම් පණ බේරගෙන දුවන්න කියලා කොල කෑල්ලක ලියලා දුන්නත් පිස්සුවෙ හොඳම එකෙන් ඉන්න Teddy ට ඒක තේරෙන්නෙ නෑ.. නැත්නම් එයාගෙ මනස එයාට තේරුම් ගන්න දෙන්නෙ නැහැ..😑😑
මං උඩ කිව්වනේ ගින්දර කියන්නෙ Teddy ව මායාව වෙත සමීපවීම සංකේතවත් කරන්නක් කියලා. ඉතින් ෆිල්ම් එකේ අපි දකින මූණ විකෘති උන Anderw Laeddis මතකද.. ඉතින් දන්නවනෙ ඇත්තම Anderw Laeddis කියන්නෙ Teddy මයි කියලා. අන්න ඒ වෙලාවෙදි ඒ මැවිලා පෙනුනේ සම්පූර්ණයෙන්ම මායා දර්ශනයක්. එතන ගිනි උදුනෙ පැහැදිලිවම දැල්වෙනවා පෙන්නන ගිනිදැල් වලින් සහ මවාගත් Anderw Laeddis විසින් ගිනිකූරකින් Teddy ගේ සිගරට්ටුව පත්තු කිරීමත් ඒක සම්පූර්ණයෙන්ම මායාවක් බව අපිට ඉඟිකරනවා.. මේ වගේ තවත් අවස්ථාවක් තමයි George Noyce සමග සිදුකරන කතාබහ.. ඇත්තටම එතනදි George කියන හැමදේම ඇත්ත.. හැබැයි ඒ Teddy ගිනිකූරක් පත්තුකරනකන් විතරයි. එතනදි George කියනවා එයාගෙ මූණෙ තියෙන තුවාල කැලැල් වලට වගකියන්න ඕන Teddy කියලා. ඒවගේම මතකද වතාවකදි කියනවා George Noyce ට තවත් රෝගියෙක් සති දෙකකට කලින් පහර දීලා තියෙනවා කියලා. ඇත්තටම ඒ රෝගියා තමයි Anderw නැත්නම් අපි කතාවෙ දන්න Teddy. හැබැයි Teddy මේ වෙලාවෙ ගින්දර දැල්වීමත් එක්ක ඇත්ත යටපත් වෙලා ආයෙම මායාව මතුවෙනවා..
ඉතින් මේ තමයි Shutter Island තුල අපි දැක්ක මායාත්මක කතාන්තරයේ සැඟවුණු ඇත්තම කතාවට අපිව ලංකරන අවස්ථා.. ඇත්තම කිව්වොත් Shutter Island වලදි අපි මුල ඉදන්ම ඇත්ත දකිනවා. නමුත් අපේ මනස ඒ දේවල් වලට වඩා ප්‍රමුඛතාවය දෙන්නෙ මතුපිටින් පේන තේරුම් ගන්න පහසු Teddy ගේ මායාවටයි. ඉතින් මෙතනදි වෙන්නෙ Teddy වගේම අපිත් සත්‍ය පෙනි පෙනී මායාවක රැවටීමයි. පුදුමාකාරයි නේද.. සිනමාවේ මායාව කියන්නෙ මෙන්න මේ වගේ අවස්ථාවන්වලට.. අවිවාදයෙන්ම මේවා තමයි නියම සිනමා නිර්මාණ කියල හඳුන්වන්න පුලුවන්.. ඉතින් මේ වගේ විශිෂ්ඨ නිර්මාණ කරපු Martin Scorsese විසින් Marvel සිනමාපට Theme Park විදියට හැඳින්වීම එක්තරා අතකට වරදක් නැහැ. ඉතින් අවසානයට මං Teddy විසින් කියන සුප්‍රකට වාක්‍ය කොටස ගැනත් කියලම නතර කරන්නම්..
එතනදි ඒ මොහොත වෙනකොට Teddy නැත්තම් Anderw Laeddis තමන්ගේ මායාවෙන් මිදිලා ඇත්ත වටහාගෙනයි ඉන්නෙ. නමුත් වියයුතු පරිද්දෙන්ම එයා තමා ගැන, තමා අතින් උන අපරාධය ගැන මුලු හිතින්ම වේදනා විඳිනවා. එයා එයා ගැන ඒ මොහොත වෙද්දි හිතාගෙන ඉන්නෙ රාක්ශයෙක් කියලයි. තමන්ගේ පවුලම විනාශ කල රාක්ශයෙක්. ඉතින් Teddy ට විකල්ප දෙකක් ඉතුරුවෙලා තියෙනවා. එකක් තමයි තමන්ගේ ලෙඩේ සුව උන බව Doctor Sheehan ට පෙන්නලා හැමදාමත් හිතින් දුක් විඳ විඳ ජීවත් වෙන්න.. නැත්නම් තමන්ට අසනීපය තවමත් තිබෙන බව පෙන්නලා එවන් රෝගීන්ට අවසානයට සිදුකරණ සැත්කම සිදුකරලා මනසෙන් සියලුම දේ අමතක කරලා මනස අඩපණ කරගැනීම.. ( හැබැයි මේක කරන්නෙ අවසන් විකල්පය විදියට නැත්නම් ලෙඩේ සුව වෙන්නෙම නැත්නම් විතරයි) ඒකෙන් Andrew ට පුලුවන් සියලුම වේදනාකාරී මතකයන් නැතිකරගන්න ඉන්පස්සෙ මනස අඩපණ උනත් ජීවත් වෙලා හිතේ සතුටින් හොඳ මිනිහෙක් වගේ හිතාගෙන මැරෙන්න. ඉතින් කණගාටුවෙන් උනත් Andrew තෝරාගන්නෙ මේ දෙවෙනි විකල්පය. ඒ අනුව අවසාන වාක්‍ය කියන්න කලින් Doctor Sheehan ට Chuck කියලා තමන් තාමත් ලෙඩින් බව බොරුවට පෙන්නලා සැත්කම වෙනුවෙන් යන්න Andrew කටයුතු කරනවා. නමුත් යන්න කලින් Andrew, Dr Sheehan ට කියනව මේ දෙබස,
"Which would be worse: To live as a monster, or to die as a good man?"
මේකෙන් කියන්නෙ මං කලින් කියපු දේම තමයි. තමන් දැන් ඉන්නවා වගේ රාක්ශයෙක් කියලා හිතාගෙන ජීවත් වීමද නැත්නම් මුකුත් නොදන්න හොඳ මිනිහෙක් ලෙසින් මියයාමද වඩාත් හොඳ කියලා Andrew, Dr Sheehan ගෙන් අහනවා. ඒකෙන් Sheehan දැනගන්නවා ඇත්තටම Andrew ට සනීපයි නමුත් එයා එයාගෙ කැමැත්තෙන්ම සැත්කම වෙනුවෙන් යනවා කියලා. නමුත් Dr Sheehan ඒ වෙලාවෙදි එයාව නවත්තන්නෙ නෑ..💔💔 එයා Andrew ගේ තීරණයට ගරු කරලා නිහඬව ඉන්න තීරණය කරනවා. ඉතින් ඔන්න ඕකයි Shutter Island හි අවසානය..

Super 👍
ReplyDelete👍👍👍
ReplyDeleteGreat 😘💖
ReplyDeletegood
ReplyDelete👍👍
ReplyDeleteGreat 💛🥂
ReplyDelete👍👍
ReplyDeleteGreat Article
ReplyDeleteBest
ReplyDelete👍👍
ReplyDeleteSuperb👌👌
ReplyDeleteGreat
ReplyDelete👍👍👍
ReplyDeleteGreat
ReplyDeleteLoku therumk thiyena කතාවක්
ReplyDeleteSuperb...👌
ReplyDeleteSuper 👍
ReplyDelete😍😍😍😍😍
ReplyDelete