
මම චිත්‍රපටයක් බලලා ගත්තු හොඳම අත්දැකීම ගත්තේ යාපනේදී. චිත්‍රපට ශාලාව යාපනය මැජෙස්ටික් සිනෙප්ලෙක්ස් එක. දවස 2019 මාර්තු දෙවෙනිදා. චිත්‍රපටය තඩම්. හෝල් එකේ
ස්ක්‍රීන් 05 ක් ද කොහෙද තිබ්බා.
ඔක්කෝම හවුස් ෆුල්. ස්ක්‍රීන් එකත් එක්ක, ඉන්න ඕඩියන්ස් එකේ Engagement එක 100% යි. ආයෙ අඩුවක් කියන්න දෙයක් නෑ. විහිලු වලට මාර සද්දෙට හිනා වෙනවා. වීරයා
එද්දි කෑ ගහනවා. දුශ්ටයා ගුටි කද්දි හූ කියනවා. ආදර ජවනිකාවල දි ඒකට හරියන
රිඇක්ශන් එක දෙනවා. මාරම ආතල්. ෆිල්ම් එක ඉවර වෙලා හෝල් එකෙන් එලියට බහිද්දී මුලු
යාපනේ ටවුන් එක පුරාම සෙනග. හැම හෝල් එකකින්ම චිත්‍රපට බලලා එලියට එන සෙනග පාරේ.
මාතර Skylite එකේ වැඩකරන කාලේ මගේ ආසම දේ වුනේ ක්‍රවුඩ් එකත් එක්ක දෙමළ Film එකක පළවෙනි රාත්‍රී දර්ශනය බලන එක. ඒක මාරම මාරයි. හරිම Energetic ඕඩියන්ස් එකක්. යාපනේ තරම්ම නැති වුණත්, කොහේ වුණත් දෙමළ චිත්‍රපටයක් බලන්න එකතු වෙන සෙට් එක වෙනම ආතල් එකක් ගන්නවා. ගිය අවුරුද්දේ ඩර්බාර් බලන්න ආපු කිහිප දෙනෙකුට අපි T Shirts තෑගි විදිහට දුන්නා. ඒකේ ෆොටෝ එකක් දාන්නෙ ආඩම්බරේට. ඇත්තටම මේ ප්‍රේක්ශකයන් අපට ගොඩක් වටිනවා.
පළවෙනි දවසේ එන්නේ කොල්ලෝ විතරයි. දෙවෙනි තුන් වෙනි දවස් වෙද්දි ගෑණු අය එනවා. පවුල් පිටින් එනවා. පොඩි උං එක්කගෙන අම්මලා තාත්තලා එනවා. අවුලක් නෑ. ගොඩක් ඒවයේ එහෙම ලොකුවට ලේ නෑ. හාදු නෑ. සෙක්ස් නෑ. ෆුල් ෆැමිලි ආතල්. පයින් එකක් දුන්නත් මීටර් දෙක තුනක් උඩට විසික් වෙලා වැටෙනවා ඇරෙන්න ලොකු ආබාධයක් එහෙම වෙන්නෙ නෑ. ඉතින් ප්‍රශ්නයක් නෑ.
හැබැයි මම 2015 එක දවසක් ප්‍රවේගය බලද්දි එහෙම සිංහල ක්‍රවුඩ් එකක් දැකලා තියෙනවා ඇරෙන්න, කවදාවත් සිංහල සිනමාපටයක් වෙනුවෙන් එහෙම ඕඩියන්ස් එකේ Engagement එකක් දැකලා නෑ. ඒක නැති වුණාට කමක් නෑ. චිත්‍රපට බලන්න සෙනග එනවනම්. ඔය "සිරි පැරකුම්" වගේ ව්‍යතිරේඛී සිනමාපට ටිකක් අයින් කරලා දැම්මම ඉතුරුවා බලන්න ආපු ජනගහණය ගැන කතා කරලා වැඩකුත් නෑ. ඉඳලා හිටලා යලට මහට කරුමෙට පිටපලාතක සිනමා ශාලාවක් Housefull වුනොත් ඇරෙන්න, සිංහල සිනමාපටයක් වෙනුවෙන් එහෙම වෙනවා හරිම අඩුයි. මිනිස්සු සිංහල චිත්‍රපට කරන්න බය ඒකයි. අලුත් අයට අලුත් අත්හදාබැලීම් කරන්න සල්ලි වෙන් කරන්න තරම් නිර්භීත නිශ්පාදකයෝ නැති වෙන්නේ ඒකයි.
"ඒකයි" කියන්නේ කෝකද..?
ෆිල්ම් බලන්න සෙනග නෑ. උදේට එන්නේ බොක්ස් යන්න එන ජෝඩු. එහෙම නැත්නම් පන්ති කට් කරලා යන්න තැනක් නැතුව එන නව යොවුන් ආදරවන්තයෝ, ආදරවන්තියෝ. දවල්ට එන්නෙත් බොහෝ දුරට ක්ලාස් කට් කරලා එන ළමයි. හොඳ ඉංග්‍රීසි හෝ Kids Movie එකක් නැත්නම් හැන්දෑවේ දර්ශන බොහෝ දුරට අවලංගුයි. සතිඅන්තයක ඇරෙන්න සතියේ දවසක නම් රෑට මිනිස්සු සිංහල චිත්‍රපටයක් බලන්න එන්නේ හරි අඩුවෙන්. ලොකූ පවුලක් දහයක් විතර එක්ක ඇවිත් චිත්‍රපටයක් බැලුවොත් ඇරෙන්න සිනමා ශාලා බොහෝ විට රෑ දර්ශනය නොපෙන්නාම වහලා දානවා. හොඳ ඉංග්‍රීසි චිත්‍රපටයක් වුනත් පිටපලාත් වලට එන්නෙ නෑ. ආවත් බලන්නෙ නෑ කියලා සිනමා ශාලා හිමියන් දන්නවා. Ford vs Ferrari කියන අග්‍රගණ්‍ය සිනමාපටය සිනමාශාලා වලට දැම්මම ඒක බලන්න උවමනා වුණු මාතර මිනිස්සු හිටියේ අතේ ඇඟිලි ගාණටත් වඩා අඩුවෙන්.
Facebook එකේ බැලුවොත් ඇත්නම් දාස් ගාණක් මිනිස්සු චිත්‍රපට එනකන් බලන් ඉන්නවා වගේ පේන්නේ. ඒත් ඒක බොරුවක්. මේ ලියන, මේ කමෙන්ට් කරන උංගෙන් බහුතරය බලාගෙන ඉන්නේ BR Rip එකක් එනකන්, ෆිල්ම් එක ලීක් වෙලා කොහේ හරි වෙබ් සයිට් එකකට වැටෙනකන්, ටීවී එකේ පෙන්නනකන්. ඇත්තම තත්වය ඕකයි.
හැබැයි උංගෙ අනිත් වැඩේ Facebook එක පුරාවට දෙමළ චිත්‍රපටයක පෝස්ටරයක්, වීඩියෝ කෑල්ලක් දැම්ම ගමන් වටවෙලා හිනාවෙන එක. උං දන්නෙ නෑ දෙමළ චිත්‍රපට සහ දෙමළ චිත්‍රපට ප්‍රේක්ශකයෝ ලංකාවේ සිනමාව කර්මාන්තයක් විදිහට ස්ථාවරව තියන්න කොච්චර උදවුවක් දෙනවද කියන එක. උදාහරණ කීපයක් දෙන්නම්.
1. විජෙයි කියන දෙමළ නලුවාගේ 2017 අවුරුද්දේ ආපු Mersel චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 5.24 ක් හොයාගෙන තියෙනවා ලංකාව ඇතුලෙදී. ලංකාවේ මුදලින්නම් කෝටි 13 හමාරක් හොයලා තියෙනවා. මේක ලංකාවෙ සිනමාපටයකට වුණත් Achieve කරගන්න එච්චර ලේසි නැති ටිකක් ලොකු ගාණක්.
2. විජෙයි, රජ්නි කාන්ත්, අජිත්, වික්‍රම්, ධනුශ්, ප්‍රබාස්, යාශ් ආදී දකුණු ඉන්දියානු නලුවන්ගේ නිර්මාණ වල හැම පූර්ව ප්රචාරක පටයක්ම ලංකාව ඇතුලේ Trending එනවා. සමහරවෙලාවට පූර්ව ප්රචාරක පට බලන්න විතරක් සිනමා ශාලාවලට එන ප්‍රේක්ශකයෝ ඉන්නවා.
3. විජෙයි සහ රජ්නි කාන්ත් යන නලුවන්ගේ සිනමාපට වෙනුවෙන් බොහෝ සිනමා ශාලාවල විශාල කටවුට් නිර්මාණය වෙනවා. මේ බොහෝ කටවුට් නිර්මාණය වෙන්නේ ප්‍රේක්ශකයන් අතින්. ඔවුන්ගේ සල්ලි වලින්.
4. දෙමළ චිත්‍රපට පමණක් පෙන්වන සිනමාශාලාවල බොහෝ විට රාත්‍රී දර්ශන Housefull වෙනවා. චිත්‍රපටයක් ආවම මාතර වුනත් රාත්‍රී දර්ශනය ප්‍රේක්ශකයන්ගෙන් පිරී යනවා.
5. හෙට (ජනවාරි 13) තිරගත වීම අරඹන, විජෙයි සහ විජෙයි සේතුපති රංගනයෙන් දායක වන "මාස්ටර්" චිත්‍රපටය වෙනුවෙන් 25% ක් වුණු ආසන ධාරිතාවය 50% ක් දක්වා වැඩි කරන්න රජය තීරණය කලා. ඒකෙනුත් අදහසක් ගන්න පුලුවන්නේ මේ ප්‍රේක්ශකයන් ගැන.
6. ඒ අනුව 13 වැනිදා සිට ලාංකේය සිනමා ශාලා 75 කට ආසන්න සංඛ්‍යාවක මේක තිරගත කරන්න සූදානම් කරලා තියෙනවා. ලංකාව ඇතුලේ සිංහල චිත්‍රපටයක් සිනමා ශාලා 75 ක පෙන්නන්නත් ලොකු ගේමක් දෙන්න ඕන බව අමතක නොකරන්න.
7. 13 සහ 14 යන දෙදින තුල ලංකාවේ සිනමා ශාලා වල "මාස්ටර්" සිනමාපටය වෙනුවෙන් දර්ශන වාර 700 ත් 1000 ත් අතර ප්‍රමාණයක් සූදානම් කරලා තියෙනවා.
8. එයින් බොහොමයක් දර්ශන දැනටත් Housefull වෙලා, එහෙම නැත්නම් Housefull වෙන්න ආසන්නයි.
මේ තමයි ලාංකීය දෙමළ සිනමා ප්‍රේක්ශකයා සහ ඉන්දියානු දෙමළ සිනමාව ලංකාවේ සිනමා කර්මාන්තයට කරනා බලපෑම. "මාස්ටර්" හෙට ඉඳලා ප්‍රදර්ශනය වෙන කොට, දමිළ හෝ මුස්ලිම් ප්‍රේක්ශකයන් ඉන්න සිනමාශාලාවකට ගියොත් මේක සජීවීව අත් විඳින්න ඔබට අවස්ථාව ලැබේවි.
මේ සිනමාපට හරිම සරලයි. ලින්ච්ගෙ නෙමෙයි නෝලන්ගෙ ටයිප් තරම්වත් හිතන්න බැරෑරුම් දෙයක් මේ සිනමාපට ඇතුලේ නෑ. වීරයෙක්, දුශ්ටයෙක්, ආදරවන්තියක් කියන ටූල්ස් ටික ඉන්නවා. ඔය ටික පාවිච්චි කරලා ටිපිකල් මසාලාවක් කරනවද, වික්‍රම් වේදා, පයියෙරුම් පෙරුමාල්, කයිති වගේ වැඩක් කරනව ද කියන එක ඩිරෙක්ටර් ස' ට භාරයි. ඔය ටූල්ස් ටික හරියට පාවිච්චි කරන්න ඩිරෙක්ටර් ස' ට පුලුවන්නම් පොර දිනනවා. නැත්නම් පරාදයි.
යුරෝපියානු සහ ඇමෙරිකානු සිනමාව එන්නේ ඒ ඒ ප්‍රේක්ශකයන් වෙනුවෙන්. යුරෝපයේ එහෙම වගේ ඒසී කාමරයක රැකියාව කරලා, සුඛෝපභෝගී ප්‍රවාහණ සේවයක් ආධාරයෙන් ගෙදර ඇවිල්ලා, වොශ් එකක් දාගෙන, වයින් වීදුරුවක් බීලා, නිදහස් පාඩුවේ සිනමාපටයක් බලන්න යන මානසිකත්වයක් ඉන්දියානු ජනතාවට හෝ බහුතර ලාංකීය ජනතාවට නෑ. මේ එදා වේල හම්බකරන මිනිස්සු තමන් දවසේ හොයන කුලී මුදලෙන් කොටසක් වියදම් කරලා බලන්න එන චිත්‍රපට. ඉන්දියානු දමිළ සිනමාව කියන්නේ, තමිල්නාඩුවේ චෙන්නායි වල මුඩුක්කු වල ඉන්න මිනිස්සුයි, මහා ධනපතියොයි පැය තුනකට විතර එකතු කරන එකම පාලම.
සුප්‍රකට චෙන්නායි නගරයේ 30% ක් වුණු ජනතාවක් අදටත් ඉන්නේ මුඩුක්කු වල. සිනමා තිරය කියන්නේ උංගේ හීන හැබෑ වෙන එකම තැන. උංගෙ පන්තියේ එවුන් ධනපතියන්ට අභියෝග කරන එකම තැන. උංගේ පන්තියේ කොල්ලෙක්, ධනපති පන්තියේ කෙල්ලෙක්ව බැඳගන්න එකම තැන. සිනමාව කියන්නේ දකුණු ඉන්දියාවේ මිනිස්සුන්ට හීන සාප්පුවක්. අපිත් උංට වඩා ගොඩාක් වෙනස්, දියුණු රටක මිනිස්සු නෙමෙයි. එහෙම හිතලවත් ලොකු මහත්තුරු නෝනලා උංට හිනාවෙන්නෙපා. පවු..!
👌
ReplyDeleteNiyamai💛
ReplyDeleteGreat ❤️
ReplyDelete👌👌👌
ReplyDelete👌👌👌 best
ReplyDeleteGreat
ReplyDeleteජයවේවා 🖤
ReplyDelete👌👌👌
ReplyDeletePatta
ReplyDeleteBest
ReplyDeleteGood
ReplyDelete👍👍👍👍
ReplyDelete😍😍😍😍
ReplyDelete