Sunday, January 24, 2021

දකුණු ඉන්දියාවේ ජරා ගොඩවල් වලට හිනාවෙමු..!

මම චිත්රපටයක් බලලා ගත්තු හොඳම අත්දැකීම ගත්තේ යාපනේදී. චිත්රපට ශාලාව යාපනය මැජෙස්ටික් සිනෙප්ලෙක්ස් එක. දවස 2019 මාර්තු දෙවෙනිදා. චිත්රපටය තඩම්. හෝල් එකේ ස්ක්රීන් 05 ක් ද කොහෙද තිබ්බා. ඔක්කෝම හවුස් ෆුල්. ස්ක්රීන් එකත් එක්ක, ඉන්න ඕඩියන්ස් එකේ Engagement එක 100% යි. ආයෙ අඩුවක් කියන්න දෙයක් නෑ. විහිලු වලට මාර සද්දෙට හිනා වෙනවා. වීරයා එද්දි කෑ ගහනවා. දුශ්ටයා ගුටි කද්දි හූ කියනවා. ආදර ජවනිකාවල දි ඒකට හරියන රිඇක්ශන් එක දෙනවා. මාරම ආතල්. ෆිල්ම් එක ඉවර වෙලා හෝල් එකෙන් එලියට බහිද්දී මුලු යාපනේ ටවුන් එක පුරාම සෙනග. හැම හෝල් එකකින්ම චිත්රපට බලලා එලියට එන සෙනග පාරේ.

මාතර Skylite එකේ වැඩකරන කාලේ මගේ ආසම දේ වුනේ ක්රවුඩ් එකත් එක්ක දෙමළ Film එකක පළවෙනි රාත්රී දර්ශනය බලන එක. ඒක මාරම මාරයි. හරිම Energetic ඕඩියන්ස් එකක්. යාපනේ තරම්ම නැති වුණත්, කොහේ වුණත් දෙමළ චිත්රපටයක් බලන්න එකතු වෙන සෙට් එක වෙනම ආතල් එකක් ගන්නවා. ගිය අවුරුද්දේ ඩර්බාර් බලන්න ආපු කිහිප දෙනෙකුට අපි T Shirts තෑගි විදිහට දුන්නා. ඒකේ ෆොටෝ එකක් දාන්නෙ ආඩම්බරේට. ඇත්තටම මේ ප්රේක්ශකයන් අපට ගොඩක් වටිනවා.

පළවෙනි දවසේ එන්නේ කොල්ලෝ විතරයි. දෙවෙනි තුන් වෙනි දවස් වෙද්දි ගෑණු අය එනවා. පවුල් පිටින් එනවා. පොඩි උං එක්කගෙන අම්මලා තාත්තලා එනවා. අවුලක් නෑ. ගොඩක් ඒවයේ එහෙම ලොකුවට ලේ නෑ. හාදු නෑ. සෙක්ස් නෑ. ෆුල් ෆැමිලි ආතල්. පයින් එකක් දුන්නත් මීටර් දෙක තුනක් උඩට විසික් වෙලා වැටෙනවා ඇරෙන්න ලොකු ආබාධයක් එහෙම වෙන්නෙ නෑ. ඉතින් ප්රශ්නයක් නෑ.
හැබැයි මම 2015 එක දවසක් ප්රවේගය බලද්දි එහෙම සිංහල ක්රවුඩ් එකක් දැකලා තියෙනවා ඇරෙන්න, කවදාවත් සිංහල සිනමාපටයක් වෙනුවෙන් එහෙම ඕඩියන්ස් එකේ Engagement එකක් දැකලා නෑ. ඒක නැති වුණාට කමක් නෑ. චිත්රපට බලන්න සෙනග එනවනම්. ඔය "සිරි පැරකුම්" වගේ ව්යතිරේඛී සිනමාපට ටිකක් අයින් කරලා දැම්මම ඉතුරුවා බලන්න ආපු ජනගහණය ගැන කතා කරලා වැඩකුත් නෑ. ඉඳලා හිටලා යලට මහට කරුමෙට පිටපලාතක සිනමා ශාලාවක් Housefull වුනොත් ඇරෙන්න, සිංහල සිනමාපටයක් වෙනුවෙන් එහෙම වෙනවා හරිම අඩුයි. මිනිස්සු සිංහල චිත්රපට කරන්න බය ඒකයි. අලුත් අයට අලුත් අත්හදාබැලීම් කරන්න සල්ලි වෙන් කරන්න තරම් නිර්භීත නිශ්පාදකයෝ නැති වෙන්නේ ඒකයි.

"ඒකයි" කියන්නේ කෝකද..?

ෆිල්ම් බලන්න සෙනග නෑ. උදේට එන්නේ බොක්ස් යන්න එන ජෝඩු. එහෙම නැත්නම් පන්ති කට් කරලා යන්න තැනක් නැතුව එන නව යොවුන් ආදරවන්තයෝ, ආදරවන්තියෝ. දවල්ට එන්නෙත් බොහෝ දුරට ක්ලාස් කට් කරලා එන ළමයි. හොඳ ඉංග්රීසි හෝ Kids Movie එකක් නැත්නම් හැන්දෑවේ දර්ශන බොහෝ දුරට අවලංගුයි. සතිඅන්තයක ඇරෙන්න සතියේ දවසක නම් රෑට මිනිස්සු සිංහල චිත්රපටයක් බලන්න එන්නේ හරි අඩුවෙන්. ලොකූ පවුලක් දහයක් විතර එක්ක ඇවිත් චිත්රපටයක් බැලුවොත් ඇරෙන්න සිනමා ශාලා බොහෝ විට රෑ දර්ශනය නොපෙන්නාම වහලා දානවා. හොඳ ඉංග්රීසි චිත්රපටයක් වුනත් පිටපලාත් වලට එන්නෙ නෑ. ආවත් බලන්නෙ නෑ කියලා සිනමා ශාලා හිමියන් දන්නවා. Ford vs Ferrari කියන අග්රගණ්ය සිනමාපටය සිනමාශාලා වලට දැම්මම ඒක බලන්න උවමනා වුණු මාතර මිනිස්සු හිටියේ අතේ ඇඟිලි ගාණටත් වඩා අඩුවෙන්.

Facebook එකේ බැලුවොත් ඇත්නම් දාස් ගාණක් මිනිස්සු චිත්රපට එනකන් බලන් ඉන්නවා වගේ පේන්නේ. ඒත් ඒක බොරුවක්. මේ ලියන, මේ කමෙන්ට් කරන උංගෙන් බහුතරය බලාගෙන ඉන්නේ BR Rip එකක් එනකන්, ෆිල්ම් එක ලීක් වෙලා කොහේ හරි වෙබ් සයිට් එකකට වැටෙනකන්, ටීවී එකේ පෙන්නනකන්. ඇත්තම තත්වය ඕකයි.

හැබැයි උංගෙ අනිත් වැඩේ Facebook එක පුරාවට දෙමළ චිත්රපටයක පෝස්ටරයක්, වීඩියෝ කෑල්ලක් දැම්ම ගමන් වටවෙලා හිනාවෙන එක. උං දන්නෙ නෑ දෙමළ චිත්රපට සහ දෙමළ චිත්රපට ප්රේක්ශකයෝ ලංකාවේ සිනමාව කර්මාන්තයක් විදිහට ස්ථාවරව තියන්න කොච්චර උදවුවක් දෙනවද කියන එක. උදාහරණ කීපයක් දෙන්නම්.

1. විජෙයි කියන දෙමළ නලුවාගේ 2017 අවුරුද්දේ ආපු Mersel චිත්රපටය ඉන්දියානු රුපියල් කෝටි 5.24 ක් හොයාගෙන තියෙනවා ලංකාව ඇතුලෙදී. ලංකාවේ මුදලින්නම් කෝටි 13 හමාරක් හොයලා තියෙනවා. මේක ලංකාවෙ සිනමාපටයකට වුණත් Achieve කරගන්න එච්චර ලේසි නැති ටිකක් ලොකු ගාණක්.
2. විජෙයි, රජ්නි කාන්ත්, අජිත්, වික්රම්, ධනුශ්, ප්රබාස්, යාශ් ආදී දකුණු ඉන්දියානු නලුවන්ගේ නිර්මාණ වල හැම පූර්ව ප්රචාරක පටයක්ම ලංකාව ඇතුලේ Trending එනවා. සමහරවෙලාවට පූර්ව ප්රචාරක පට බලන්න විතරක් සිනමා ශාලාවලට එන ප්රේක්ශකයෝ ඉන්නවා.

3. විජෙයි සහ රජ්නි කාන්ත් යන නලුවන්ගේ සිනමාපට වෙනුවෙන් බොහෝ සිනමා ශාලාවල විශාල කටවුට් නිර්මාණය වෙනවා. මේ බොහෝ කටවුට් නිර්මාණය වෙන්නේ ප්රේක්ශකයන් අතින්. ඔවුන්ගේ සල්ලි වලින්.

4. දෙමළ චිත්රපට පමණක් පෙන්වන සිනමාශාලාවල බොහෝ විට රාත්රී දර්ශන Housefull වෙනවා. චිත්රපටයක් ආවම මාතර වුනත් රාත්රී දර්ශනය ප්රේක්ශකයන්ගෙන් පිරී යනවා.

5. හෙට (ජනවාරි 13) තිරගත වීම අරඹන, විජෙයි සහ විජෙයි සේතුපති රංගනයෙන් දායක වන "මාස්ටර්" චිත්රපටය වෙනුවෙන් 25% ක් වුණු ආසන ධාරිතාවය 50% ක් දක්වා වැඩි කරන්න රජය තීරණය කලා. ඒකෙනුත් අදහසක් ගන්න පුලුවන්නේ මේ ප්රේක්ශකයන් ගැන.

6. ඒ අනුව 13 වැනිදා සිට ලාංකේය සිනමා ශාලා 75 කට ආසන්න සංඛ්යාවක මේක තිරගත කරන්න සූදානම් කරලා තියෙනවා. ලංකාව ඇතුලේ සිංහල චිත්රපටයක් සිනමා ශාලා 75 ක පෙන්නන්නත් ලොකු ගේමක් දෙන්න ඕන බව අමතක නොකරන්න.

7. 13 සහ 14 යන දෙදින තුල ලංකාවේ සිනමා ශාලා වල "මාස්ටර්" සිනමාපටය වෙනුවෙන් දර්ශන වාර 700 ත් 1000 ත් අතර ප්රමාණයක් සූදානම් කරලා තියෙනවා.
8. එයින් බොහොමයක් දර්ශන දැනටත් Housefull වෙලා, එහෙම නැත්නම් Housefull වෙන්න ආසන්නයි.
මේ තමයි ලාංකීය දෙමළ සිනමා ප්රේක්ශකයා සහ ඉන්දියානු දෙමළ සිනමාව ලංකාවේ සිනමා කර්මාන්තයට කරනා බලපෑම. "මාස්ටර්" හෙට ඉඳලා ප්රදර්ශනය වෙන කොට, දමිළ හෝ මුස්ලිම් ප්රේක්ශකයන් ඉන්න සිනමාශාලාවකට ගියොත් මේක සජීවීව අත් විඳින්න ඔබට අවස්ථාව ලැබේවි.
මේ සිනමාපට හරිම සරලයි. ලින්ච්ගෙ නෙමෙයි නෝලන්ගෙ ටයිප් තරම්වත් හිතන්න බැරෑරුම් දෙයක් මේ සිනමාපට ඇතුලේ නෑ. වීරයෙක්, දුශ්ටයෙක්, ආදරවන්තියක් කියන ටූල්ස් ටික ඉන්නවා. ඔය ටික පාවිච්චි කරලා ටිපිකල් මසාලාවක් කරනවද, වික්රම් වේදා, පයියෙරුම් පෙරුමාල්, කයිති වගේ වැඩක් කරනව ද කියන එක ඩිරෙක්ටර් ස' ට භාරයි. ඔය ටූල්ස් ටික හරියට පාවිච්චි කරන්න ඩිරෙක්ටර් ස' ට පුලුවන්නම් පොර දිනනවා. නැත්නම් පරාදයි.

යුරෝපියානු සහ ඇමෙරිකානු සිනමාව එන්නේ ඒ ඒ ප්රේක්ශකයන් වෙනුවෙන්. යුරෝපයේ එහෙම වගේ ඒසී කාමරයක රැකියාව කරලා, සුඛෝපභෝගී ප්රවාහණ සේවයක් ආධාරයෙන් ගෙදර ඇවිල්ලා, වොශ් එකක් දාගෙන, වයින් වීදුරුවක් බීලා, නිදහස් පාඩුවේ සිනමාපටයක් බලන්න යන මානසිකත්වයක් ඉන්දියානු ජනතාවට හෝ බහුතර ලාංකීය ජනතාවට නෑ. මේ එදා වේල හම්බකරන මිනිස්සු තමන් දවසේ හොයන කුලී මුදලෙන් කොටසක් වියදම් කරලා බලන්න එන චිත්රපට. ඉන්දියානු දමිළ සිනමාව කියන්නේ, තමිල්නාඩුවේ චෙන්නායි වල මුඩුක්කු වල ඉන්න මිනිස්සුයි, මහා ධනපතියොයි පැය තුනකට විතර එකතු කරන එකම පාලම.

සුප්රකට චෙන්නායි නගරයේ 30% ක් වුණු ජනතාවක් අදටත් ඉන්නේ මුඩුක්කු වල. සිනමා තිරය කියන්නේ උංගේ හීන හැබෑ වෙන එකම තැන. උංගෙ පන්තියේ එවුන් ධනපතියන්ට අභියෝග කරන එකම තැන. උංගේ පන්තියේ කොල්ලෙක්, ධනපති පන්තියේ කෙල්ලෙක්ව බැඳගන්න එකම තැන. සිනමාව කියන්නේ දකුණු ඉන්දියාවේ මිනිස්සුන්ට හීන සාප්පුවක්. අපිත් උංට වඩා ගොඩාක් වෙනස්, දියුණු රටක මිනිස්සු නෙමෙයි. එහෙම හිතලවත් ලොකු මහත්තුරු නෝනලා උංට හිනාවෙන්නෙපා. පවු..!




Friday, January 15, 2021

𝗪𝗼𝗺𝗲𝗻 𝗶𝗻 𝗔 𝗺𝗮𝗻 𝗿𝘂𝗹𝗲𝗱 𝘄𝗼𝗿𝗹𝗱

Wonder Women 1984 ෆිල්ම් එක බලන්න ඇතිනේ...සමස්තයක් විදියට අපි බලා⁣පොරොත්තු වුන විදියේ සුපිරි වීර චිත්රපටයක්ම නොවුන නිසාමද කොහෙදෝ ගොඩාක් අය ෆිල්ම් එක ගැන කලකිරීමෙන් තමයි ඉන්නේ....මොනා වුනත් කොරෝනා අස්සේ හොඳ ෆිල්ම් එකක් මාස ගානකින් හොල් එකක බලාගන්න බැරි වුන ගොඩාක් අයට මේ වොන්ඩර් වුමන් ෆිල්ම් එක ගෙදර ඉඳලා බැලුවත් හරියට කතරකට දියපොදක් වැටුණා වගේ තමයි...

චීටා කැරැක්ටර් එක හොඳට මුල ඉඳලා බිල්ඩ් අප් කරලා තිබුණට අපි හිතපු,අපි සුපර් හීරෝ ෆිල්ම් එකක අපි බලා⁣පොරොත්තු වන සුපර් බැට්ල් එකක් තිබුණේ නැති එකත් ෆිල්ම් එක මුල ඉඳලා ගලාගෙන ආපු විදියත් එක්ක ලොකු අඩුපාඩුවක්...මොනා වුනත් මං හිතන්නේ මාස ගානක් ගෙවල් වලට කොටු වෙලා,නැත්තම් කොරෝනා අස්සේ ෆිල්ම් එකක් තියා හරියට ගමනක් බිමනක්වත් යන්න බැරි වුන කොටින්ම කොරෝනා වලට හෙට්ටු වුන අයට වොන්ඩර් වුමන් 1984 අන්තිමට දෙන පොසිටිව් වයිබ් එකත් එක්ක හොඳයි කියන්න පුළුවන් ෆිල්ම් එකක් කියලා...
මං මේ ලිපිය අරන් ආවේ වොන්ඩර් වුමන් 1984 ෆිල්ම් එක ගැන කතා කරන්න නොවුනත් ෆිල්ම් එක බැලුවට පස්සේ මගේ අදහස කෙටියෙන් කියන්න හිතුන නිසයි ඉහත කරුණු ටික සඳහන් කලේ...චිත්රපටය බලපු සමහර අය කියලා තිබුණා මේක ෆෙමිනිසම් කියන එක අනවශ්ය විදියට පුම්බපු චිත්රපටයක් කියලා...ඒත් මේ වොන්ඩර් වුමන් ෆිල්ම් එකේ ෆෙමිනිසම් නැත්තම් කාන්තා සම අයිතිය උළුප්පුවන ගතිය පලවෙනි චිත්රපටය තරම්වත් නොදැනුණා කියන එකයි මගේ මතය....ඒත් වොන්ඩර් වුමන් චිත්රපටය එහෙම ෆෙමිනිසම් වුනත් වරදක් නැහැ කියන අදහස මට වගේම ඔයාලාටත් හිතේවි මේ චරිතයේ ඉතිහාසය හොයාගෙන යනකොට....
1941 ඔක්තෝම්බර් මාසයේදි තමයි වොන්ඩර් වුමන් චරිතය DC comic වලින් හදුන්වලා දෙන්නේ..සුපර් මෑන් හා බැට්මෑන්ට පස්සේ ජස්ටිස් ලීග් එකේ ප්රධාන තැනක් ගන්න සමත් වුණ චරිතය තමයි මේ වොන්ඩර් වුමන්..ඒ කාල වකවානුව ඔය ෆෙමිනිසම් කියන කාරණාව මිනිස්සු අහලාවත් නැති කාලයක්....කාන්තාවන්ට නීතිමය වශයෙන් යුද්ධයට බැඳෙන්⁣න දෙන්නේ 1948 දී...ඉතිං ඊටත් කලින් බිහිවුන වොන්ඩර් වුමන් චරිතය ඒ කාලයේ කාන්තාවන්ට දීපු උත්තේජනය සුළු පටු නොවනන ඇති කියලා හිතන්න පුළුවන්.... .
සුපර් මෑන් චරිතයට අවුරුදු තුනකට පස්සේ බැට් මෑන් චරිතයට අවුරුදු දෙකකට පස්සෙත් හදුන්වලා දීපු වොන්ඩර් වුමන් චරිතය කොමික් ඉතිහාසයේ පලවෙනි ෆීමේල් සුපර් හීරෝ චරිතය වෙනවා වගේම අද වෙනකොට ඔක්තෝම්බර් 21 Wonder women Day කියලා වෙනමම දවසක් පවා නම් කරලා තියෙනවා.....
වොන්ඩර් වුමන් චරිතය නිර්මාණය කරපු විලියම් මෝල්ටන් මාස්ටොන් එයාගේ චරිතයට දීපු ලොකුම දුර්වලකම තමයි පිරිමියෙකුගේ බන්ධනය....පිරිමි තමයි සමාජයේ ඉහළින්ම ඉන්න ඕන කියන දෙය ඉස්මතු කරන්න මුල් කාලයේ කොමික් වල පවා මේ වගේ සිදුවීම් ඇතුලත් කරලා තියෙනවා......පිරිමියෙක් වොන්ඩර් වුමන්ව ගැට ගැහුවට පස්සේ එයාගේ බලය නැත්තටම නැති වෙනවා...
එක කොමික් කලාපයක වොන්ඩර් වුමන්ව මෙහෙම ගැට ගහපු වෙලාවක එයා කියනවා,
"My strength is gone.it is aphrodite's law! when an amazon girl permits a man to chain her bracelets of submission together she become weak as other women in 𝗔 𝗺𝗮𝗻 𝗿𝘂𝗹𝗲𝗱 𝘄𝗼𝗿𝗹𝗱!"
අන්න එ් විදියට ඇමසෝන් ගර්ල් කෙනෙක්ව පිරිමි කවුරු හරි කෙනෙක් ගැට ගැහුවොත් එයාගේ බලයන් සේරම නැති වෙලා සාමාන්ය කෙනෙක් බවට පත් වෙනවා කියල තමයි ඒකේ සඳහන් වෙන්නේ...
ඉතිං පස්සේ 80 දශකයෙන් පස්සේ මේ විකාර දුර්වලකම වොන්ඩර් වුමන් චරිතයෙන් අයින් වුනා...
ඊට පස්සේ එයාගේ දුර්වලකම වුනේ එයා දාගෙන ඉන්න බ්රෙස්ල්ට්...ඒවා මොන විදියකට හරි කැඩුනොත් හරි නැති වුනොත් හරි එයාව පාලනය කරගන්න බැරි තරම් දරුණු වෙනවා....
New-52 Reboot එකෙන් පස්සේ එයාගේ දුර්වලකම් නැති තරම්...පොඩි හරි දුර්වලකමකට තිබ්බා නම් ඒ සුපර්මෑන් එක්ක තියෙන සමීප සම්බන්ධය ...
ජස්ටිස් ලීග් එකේ හැමෝගෙම දුර්වලකම් ගැන දන්න බැට් මෑන් විතරයි ඒක දන්නේ.....ඒ නිසා වොන්ඩර් වුමන් දරුණු වීගෙන එනකොට බැටා යවන්නේ සුපර්මෑන්ව...
අද වෙනකොට ඇනි⁣මේෂන් චිත්රපට හරහා වගේම DCEU හරහා ලයිව් ඇනිමේෂන් විදියට වොන්ඩර් වුමන් චරිතය කොමික් බුක් වලින් එහාට ඇත්තටම දැකගන්න පුළුවන් වෙලා තියෙනවා...DCEU එකේ අද වනකොට වොන්ඩර් වුමන් චරිතයට ගැල් ගැඩෝට් පණ දෙන නිසාම ලොකු ෆෑන් බේස් එකක් අනිත් ෆීමේල් සුපර් හීරෝස්ලට වඩා ඇති වෙලා තියෙනවා කියන්න චිත්රපටය සාර්ථක අසාර්ථක වුනත් ඇතිවෙලා තියෙන ජනප්රියත්වයම හොඳටම ප්රමාණවත් කියලා හිතනවා.....
ඒ වගේම Wonder Women 1984 චිත්රපටයේ පෝස්ට් ක්රෙඩිට් එකේ ඇස්ටේරියා විදියට කැමියෝ එකක් විදියට පෙන්නන්නේ ලින්ඩා කාර්ටර් කියලා ගොඩක් අය නොදන්න දෙයක්....1975-1979 කාලයේ විකාශය වුන වොන්ඩර් වුමන් කතාමලාවේ වොන්ඩර් වුමන් චරිතයට පණ දුන්න ඇයද ඒ චරිතයට කල සාධාරණය අගය කල යුතුමයි....
පිරිමියා මුලිකයි කියන සමාජයේ ඉඳලා අද වෙනකම් අවුරුදු 79ක ගමනක් ආපු වොන්ඩර් එදා ඉදන අද වෙනකම් සමස්ත කාන්තා සමාජයම නියොජනය කරන හැම කාන්තාවක්ම WONDER කියන පණිවිඩය ලෝකයට ලබා දෙනවා...ඉතිං ඇත්තටම මේ වොන්ඩර් වුමන් චිත්රපටය ෆෙමිනිසම් වුනා නොවුනා වරදක් නැහැ කියන එකයි මගේ මතය...
"Every women,everyman,everyone should be a feminist..becouse whoever is not a feminist is a sexist" -Gal Gadot(DCEU wonder women)


Sir (2020)

Rohena Gera අධ්යක්ෂණය කළ මෙම චිත්රපටය ප්රථමයෙන්ම ප්රදර්ශනය වන්නේ 2018 Cannes ජාත්යන්තර සම්මාන උළෙලේ. ඉන්දියාවට වඩා විදේශයන්හි ඇගයීමට ලැබූ මෙම චිත්රපටය ජනතා ප්රදර්ශනයට හිමි වන්නේ මෙම වසරේ ජනවාරි මාසයේ. ඒ මෙම චිත්රපටය Netflix ඔස්සේ මුදාහැරීමත් සමගය. Sir චිත්රපටය තුල මතුපිටින් ඉතා සරල කතා තේමාවක් පෙන්නුම් කරත්, මෙහි ඇතුලත් වන්නේ විශ්මිත මානුෂීය අධ්යනයක්‌. අපට ජීවිතය පුරාවටම විවිදාකාර පුද්ගලයින් හමු වනවා. නමුත් විටෙක අපට සමීප ලෙස සිටින පුද්ගලයින්ට වඩා, අප සමග මදක් දුරින් සිටින පුද්ගලයා අපව වඩාත් හොඳින් හඳුනනවා වන්නට පුළුවන්. එම පුද්ගලයා තුල ආදරය ඔබ නොසිතනවාටත් වඩා තිබෙන්නට පුළුවන්. නමුත් සැබෑ මනුෂ්යත්වය සහ සැබෑ ප්රේමයට හරස් වන්නේ සමාජය විසින්ම මවා දුන් සීමා මායිම්. අපට Sir චිත්රපටයේ හමුවන රත්නා සහ අශ්වින්ද ජීවත් වන්නේ, එවැනි සමාජ වටාපිටාවක.

රත්නා යනු දුර බැහැර ගම්මානයකින්, මුම්බායි වෙත පැමිණි යුවතියක්. ඇය මුම්බායි නගරයේ ජීවත් වන අශ්වින් නම් තරුණයෙකුගේ නිවස තුල, ගෘහ සේවිකාවක් ලෙස කටයුතු කරනවා. රත්නා තම රැකියාව තුල නිරත වන්නේ හීන රැසක් පොදි බැඳගෙන. රත්නා ඉතාම අඩු වයසින් විවාහ වුනු කාන්තාවක්. අවුරුදු 19 දී ඇයගේ සැමියා මිය යාමත් සමග, රත්නා ඇය වෙනුවෙන් සහ ඇයගේ හීන වෙනුවෙන් ජීවත් වීමට තීරණය කරනවා. ඇයට සම්පුර්ණ කළ නොහැකි වූ උසස් අධ්යාපණය, ඇගේ නැගණිය සම්පුර්ණ කිරීම රත්නා සතුව ඇති ප්රධාන බලාපොරොත්තුවක්. නමුත් රත්නා සතුව ඇති ප්රධානම බලාපොරොත්තුව වන්නේ කෙදිනක හෝ මෝස්‌තර නිර්මාණකරුවෙකු වීමටය. ඇය මුම්බායිහි නිරත වන රැකියාව හරහා ඉතුරු කරන්නේ ඇයගේ සිහිනය වෙනුවෙන්. රත්නාගේ ජීවිතයේ ප්රධාන හැරවුමක් සිදු වන්නේ, අශ්වින්ගේ චරිතය තුලින්. අශ්වින් සහ ඔහු විවාහ වීමට ගිය පෙම්වතිය අතර ඇති සම්බන්දය, ඉතාම අනපේක්ෂිත ලෙස බිඳ වැටී ඇත. අශ්වින් ඔහුගේ පියාගේ ව්යාපාරයට සහාය දක්වන්නේ, රචකයෙකු වීමට වෙර දැරූ හීනයද අත් හරිමින්. මේ කාරණා ද්විත්වය නිසාවෙන් අශ්වින් සිටින්නේ ඒක පුද්ගලික අර්බුදයක. මෙය නිසාම ඔහු ඒකාකාරී ජීවන රටාවකට නැඹුරු වී තිබෙනවා.
අශ්වින්ගේ ජීවිතයේ සිටින සමීපතමයින්ට වඩා, ඔහුව අධ්යනය කරන්නේ රත්නා. රත්නා අකුරටම එම නිවසේ වැඩ කටයුතු සිද්ද කරනවා. අශ්වින් එතරම් හොඳ මානසික මට්ටමක නැතිනම්, ඔහුගේ සමීපතම පුද්ගලයින්ට වඩා එය වටහා ගන්නේ රත්නාය. එම නිසා රත්නා, දුරස්තව ඇයට හැකි පමණින් ඔහුට සහාය දක්‌ වනවා. සර් නොහොත් මහත්මයා, අශ්වින් යනු සැබවින්ම වචනයේ පරිසමාප්තතයෙන්ම මහත්මයක්. සැමවිටම රත්නාගේ සේවයට ස්තූති කරන්න ඔහු අමතක කරන්නේ නැත. බහුතරයක් නාගරික ඉහල පැලැන්තියේ පුද්ගලයින්, රත්නා වැනි කාන්තාවන්ට ලබා නොදෙන ගරුත්වය අශ්වින් ඇයට ලබා දෙනවා. කාලයත් සමග ඔවුන් දෙදෙනා තුල ඇති තේරුම් ගැනීම හමුවේ, රත්නා සහ අශ්වින් එකිනෙකාට සමීප වනවා. නමුත් ඔවුන් දෙදෙනා පැමිණෙන්නේ සමාජයන් දෙකකින්. මෙම ගැටළුව ප්රධාන වශයෙන් පැමිණෙන්නේ රත්නාටය. ඇය ගෘහ සේවිකාවක් සහ දුෂ්කර ගැමි පළාතකින් පැමිණි කාන්තාව යන අනන්යතාවය රත්නාට නිතරම නාගරික සමාජයෙන් මතක් කර දෙනවා. ඒ සමගම රත්නා ඇය වෙනුවෙන්ද හීන දකිනවා. දෙලොවක් අතර තනිවන රත්නා සහ අශ්වින්ට අත්පත් වන ඉරණම කුමක්ද?
Sir චිත්රපටය තුල ප්රධාන වශයෙන් සිත් ගන්නේ, මෙහි ප්රේමය සහ මනුෂ්යත්වයට ලබා දුන් අර්ථකථනයන්. රත්නා සහ අශ්වින් අතර ඇති වන සම්බන්දය, අපට ආදරය සම්බන්දව අපූරු කියවීමක් ලබා දෙනවා. අශ්වින්ගේ ජීවිතයේ ඇති අර්බුදකාරී තත්වයට ආලෝකයක් ගෙන දෙන්නේ රත්නාය. නමුත් ඔහුගේ පැරණි ප්රේමවන්තිය සහ දෙමාපියන්ටත් වඩා, ඔහුව තේරුම් ගැනීමට රත්නාට හැකි වනවා. එම නිවස තුල ජීවත් වන්නේ අශ්වින් සහ රත්නා පමණයි. බොහොම අතේ දුරින් ඇය ඔහුව නිරීක්ෂණය කරනවා. යම් අවස්ථාවන් වලදී ඇයගේ ජීවිතයේ වතගොත ඔහු සමග බෙදා ගන්නේ, ඔහුව දිරිමත් කිරීමේ චේතනාවෙන්. තම පැරණි පෙම්වතියට, දෙමාපියන්ට සහ මිතුරන්ටද තේරුම් ගැනීමට නොහැකි වූ අශ්වින්ව, රත්නා තේරුම් ගැනීමට සමත් වනවා. නමුත් රත්නා අසරණ වන්නේ, අශ්වින් ඇයට ආදරය ප්රකාශ කිරීමත් සමග. අශ්වින් මහත්මා ගතිගුණ ඇති පුද්ගලයෙකු වූවත්, ඔහුටද නොදැනෙන වෙනස්කම් නාගරික සමාජයෙන් රත්නාට මුහුණ දීමට සිදු වනවා. අශ්වින් නියෝජනය කරන ඉහල පැලැන්තියෙන්, රත්නා වැනි කාන්තාවන්ට ලැබෙන්නේ කුඩ අම්මාගේ සැලකිලි. මෙම චිත්රපටයේ මානුෂීය පැතිකඩ ඉස්මතු වන්නේ මෙය හරහා. නාගරික ඉහල පැලන්තිය වටිනාකමින් ඉහල පිගන් කෝප්ප භාවිතා කරද්දී, සේවක සේවිකාවන් භාවිතා කරන්නේ අඩු වටිනාකමකින් යුත් පිගන් කෝප්ප. අශ්වින්ලා වැනි පුද්ගලයින් කෑම මේසයේ අනුභව කරද්දී, රත්නලා කෑම අනුභව කරන්නේ බිම ඉඳගෙන. නාගරික ඉහල පැලැන්තියේ ඇතැම් සාර්ථක කාන්තාවන්, රත්නා වැනි කාන්තාවක්ව ඔවුන්ට සමානව දකින්නේ නැත. නවීන ඇඳුම් විලාසිතා වලින් සැරසී එන පුද්ගලයන්ට සුපොගභෝගී සාප්පු තුලින් ඉහලම සේවාවක් ලැබෙද්දී, රත්නලා වැනි සාරියෙන් හැඩවුණු ගැමි කාන්තාවන්ට එම සාප්පු තුලට පය තැබීමේ අයිතියක්ද නැත. අශ්වින් ආදරය ප්රකාශ කරද්දී, ඇය ව්යාකූල වන්නේ මෙම සැලකීම් නිසාය. ඇය කුමන අවස්ථාවක් තුලදීවත් ඇගේ ආත්ම ගරුත්වය බිල්ලට දෙන්නට සුදානමක්‌ නැත. මෙම පැතිකඩවල් හරහා රත්නා ඇතුළු එම සමාජය නියෝජනය කරන බහුතරයකගේ ජීවිත ඇතුලාන්තය මෙහිදී පෙන්නුම් කළා. අධ්යක්ෂක Rohena Gera මුළුමනින්ම අශ්වින්ගේ සමාජයද විවේචනය කරන්නේ නැත. අශ්වින්ගේ චරිතය හරහා එම සමාජයේ ඇති ගුණාත්මක පැතිකඩ සහ ඔවුන්ගේ ඒක පුද්ගලික අරගලයන් පිළිබඳ කියවීමක්ද මෙහි ඇතුලත් වනවා. මෙම චිත්රපටය පොහොසත් පිරිමියෙකු සහ ගෘහ සේවිකාවක් අතර ඇති ආදර කතාවකට වඩා ඔබ්බට යන්නේ, ඉහත සඳහන් කළ අංගයන් නිසාය.
මෙම චිත්රපටයේ අනිකුත් ප්රධාන සාර්ථක අංගයන් වන්නේ දෙබස් සහ විශිෂ්ට රංගනයන්. මෙහි ඇතුලත් වන බොහෝ දෙබස් හමුවේ, අපට අපගේ ජීවිතය දෙසම වෙනස් ලෙස බැලීමට පොලඹවයි. ඔබ අශ්වින්ගේ සමාජය නියෝජනය කරනවා නම්, ඔබ ළඟ සේවයේ යෙදෙන සේවිකාව/සේවකයා දෙස නැවත හැරී බලන්න පොළොඹවන අවස්ථාවන් මෙහි ඇතුලත් වනවා. රත්නා ලෙස රංගනයන් දායක වූ Tillotama Shome එම චරිතය ඉතාම විශිෂ්ට ලෙස රඟ දැක්වුවා. විශේෂයෙන්ම නිහඬ අවස්ථාවන් තුලදී ඇයගේ මුහුණේ ඉරියව් සහ අංග චලනයන් හැසිරවුණු ආකාරය, චිත්රපටය තුල ප්රධාන වශයෙන් කැපී පෙනුණ අංගයක්. ඒ සමග අශ්වින් ලෙස රංගනයෙන් දායක වූ Vivek Gomber, අශ්වින් වචනයේ පරිසමාප්තයෙන්ම මහත්මයෙක් යන හැඟීම නරඹන්නා තුල ඇති කරන ආකාරයටම එම චරිතය ඉදිරිපත් කරා.
Rohena Gera ගේ විශිෂ්ට අධ්යක්ෂණයෙන් සහ තිර රචනයෙන් සමන්විත මෙම චිත්රපටය ඔබ නැරඹිය යුතුම නිර්මාණයක්.




🎞️🎞️🎞️2020 න් 21 ට සිනමාව🎞️🎞️🎞️🎞️🎞️🎞️

 


2020 යනු ලෝක සිනමාවට ඉතාමත් අවාසනාවන්ත කාලවකවානුවක්...කොවිඩ්-19 වසංගතය හේතුවෙන් සිනමාකර්මාන්තයට අත් වු ඉරණම ගැන අමුතුවෙන් කතා කල යුතු නැත...මේ වසරේ තිරගත වීමට තිබු බොහොමයක් සිනමාපට ඉදිරි වසර වලට කල්ගිය අතර මේ සුදානම 2020 වසරේදි අපට වඩාත් සමීප වු හොලිවුඩය, බොලිවුඩය, දමිළ සිනමාව,තෙළිඟු සිනමාව හා අපේ දේශිය සිංහල සිනමාව ගැන සමාලෝචනයක් සිදු කිරීමටය...
🔴📽️
𝐇𝐨𝐥𝐥𝐲𝐰𝐨𝐨𝐝 (හොලිවුඩය)
⭕
ආදායම් වාර්තා
2007 වසරෙන් පසු කිසිදු චිත්රපටයක් බිලියන ඉක්ම වූ ආදායම් වාර්තාවක් නොතැබු වසර ලෙස 2020 ඉතිහාස ගත වන අතර 1995 න් පසු කිසිදු චිත්රපටයක් මිලියන 500 ආදායම් වාර්තාවක් සටහන් නොකල වසරක් ලෙසද 2020 වසර ඉතිහාසයට එකතු වන්නේය...එමෙන්ම ඉතිහාසයේ පලමු වරට ඉහළ ආදායම් වාර්තා තැබු චිත්රපට දහය අතරට ඇමරිකානු නොවන චීන හා ජපන් චිත්රපට පහක් පැමිණ තිබීමත් කැපී පෙනෙන සිදුවීමක් වනවා....
මේ වසරේ වැඩිම ආදායම් වාර්තාක් ලෙස අමරිකන් ඩොලර් හාරසීය හැට එක් මිලියන තිස්තුන්ලක්ෂ නවදහස් පන්සීය විසි අටක වාර්තාවක් තබා ඇති චිත්රපටය වන්නේ The Eight Hundred නම් චීන චිත්රපටයයි....මේ වසරේ ඉහළ ආදායම් වාර්තාවක තැබු චිත්රපට 10 වන්නේ...
1.The Eight Hundred- $461,339,528
2.Bad Boys for Life- $426,505,244
3.My People, My Homeland - $422,384,094
4.Tenet - $362,609,000
5.Demon Slayer: Mugen Train - $340,173,208
6.Sonic the Hedgehog - $320,954,026
7.Dolittle - $250,482,863
8.Jiang Ziya - $243,843,105
9.Birds of Prey - $201,858,461
10.The Sacrifice - $170,730,000
මෙහි ඇති තවත් විශේෂත්වයක් නම් ඩිස්නි සමාගමේ හො ඒ යටතේ ඇති කිසිදු සමාගමක කිසිදු නිර්මාණයක් පලමු දහයට ඇතුලත් නොවී තිබීමයි....
මීට අමතරව චීනයේදි 4K තාක්ෂණය හරහා නැවත වරක් තිරගත වුන හැරී පොටර් පලමු චිත්රපටය නැතහොත් Harry potter and the Philosopher's stone චිත්රපටය ඩොලර් බිලියනයේ සීමාව පසුකරමින් Wizard World ෆැන්චසියේ දෙවන වැඩිම ආදායමක් ලැබු චිත්රපටය බවට පත්ව ඇත...
⭕
92 වන ඇකඩමි සම්මාන උළෙල
මේ වසරේදී ඇකඩමි සම්මාන උළෙල නැතහොත් ඔස්කාර් සම්මාන උළෙල ඇමරිකාවේ ලොස් ඇන්ඩලස් නුවරදී පැවැත්වන අතර එහිදී Parasite චිත්රපටය හොඳම චිත්රපටය ඇතුළු සම්මාන හතරක් දිනාගත්තේ පලමු වරට ඉංග්රීසි නොවන චිත්රපටයක් හොඳස චිත්රපටය වු පලමු අවස්ථාව ලෙසයි...1917 සම්මාන තුනක්ද ⁣Fird vs Ferrari , Once Upon a Time in Hollywood,Joker සම්මාන දෙක බැඟින් එහිදී දිනාගත්තා...ඇකඩමි සම්මාන උළලේ ප්රධාන සම්මාන පබදී ගිය ආකාරය පහත පරිදි වෙයි....
හොඳම චිත්රපටය - Parasite
හොඳම අධ්යක්ෂණය - Bong Joon - ho (parasite)
හොඳම නළුවා - Joaquin Phoenix (Joker)
හොඳම නිළිය - Renée Kathlee (Judy)
හොඳම සහය නළුවා -Brad Pitt ( Once Upon a Time in Hollywood )
හොඳම සහය නිළිය - Laura Dern (Marriage Story)
හොදම තිරරචනය - Taika Waititi (Jojo Rabbit )
⭕
77 වන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල
මෙවර ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල ඇමරිකාවේ කැලිෆෝනියා හිදී පැවැත්වූයේ ජනවාරි 5 වන දිනය..
එහි සම්මාන බෙදී ගියේ මේ ආකාරයටය...
Best Film (Drama) -1917
Best Film (Musical or Comedy) - Once Upon a Time in Hollywood
Best Drama Series - Succession
Best Musical or Comedy Series- Fleabag
Best Miniseries or Television movie - Chernobyl
2009 වසරෙන් පසු මාවල් සමාගමේ කිසිදු චිත්රපටයක් 2020 වසරේදි නිකුත් නොවීම තවත් විශේෂ සිදුවීමක් ලෙස හදුන්වාදිය හැකිය...
මේ වසරේදි එනම් 2021 දී හොලිවුඩයෙන් දැවැන්ත චිත්රපට කිහිපයක් අපට නැරඹීමට හැකියාව ලැබෙනු ඇති බවට චිත්රපට නිෂ්පාදක සමාගම් දැනට නිකුත් කර ඇති නිවේදන අනුව පෙනී යයි...
මාර්තු මාසයේදි Zack Snyder's Justice League චිත්රපටය HBO max හරහා නිකුත් වන බව දැනට නිවේදනය කර ඇති අතර බොහෝ දුරට සිනමාශාලා වල⁣ට නිකුත් වෙනු ඇතැයි බලාපොරොත්තු තිබිය හැකිය...මීට අමතරව Black Widow,Spiderman 3,Eternals ,Shang Chi, Black adam,The Suside Squard හා venom 2 යන කොමික් චිත්රපටත් Dune,The King's man,A quite place part 2,Morbius,Godzila vs King,Conjuring 03,Finale Destination 6,No Time to Die,Fast 9 ,Spiral,Exorcist,Uncharted මෙන්ම වසර අවසානයේදි Matrix 04 චිත්රපටයද නිකුත් වීමට නියමිතයි.....
🔴📽️
𝐁𝐨𝐥𝐥𝐲𝐰𝐨𝐨𝐝 -(බොලිවුඩය)
මේ වසරේදි බොලිවුඩයේ මාර්තු 17 වන දිනයෙන් පසු කිසිදු චිත්රපටයක් සිනමාශාලාවල තිරගත නොවූ අතර බොහෝ චිත්රපට හොලිවුඩය මෙන් ඉදිරි වසර වලට කල් ගියේය...ඒ අතරින් ඇතැම් නිර්මාණ OTT මාධ්ය හරහා නිකුත් වු අතර මේ වසරේ බොලිවුඩ් සිනමාවේ ඉහළම ආදායම් වාර්තා දහය පහත පිරිදි වෙයි...මේ අතරන් අජේ දේව්ගන්,කාජල්,සයිෆ් අලී ඛාන් රංගනයෙන දායක වු Tanhaji ඉන්දියානු රුපියල් කෝටි 367 ක් ලබාගැනීමට සමත් වූ අතර දෙවැන්න ලෙස Baaghi 3 කෝටි 137 ක ආදායමක් උපයාගත් අතර වෙනත් කිසිදු චිත්රපටයක් කෝටි 100 ආදායමක් ලබා ගැනීමට සමත් නොවී ඇත...
1.Tanhaji
2.Baaghi 3
3.Street Dancer 3D
4.Shubh Mangal Zyada Saavdhan
5.Malang
6.Chhapaak
7.Love Aaj Kal
8.Jawaani Jaaneman
9.Thappad
10.Panga
මේ වසරේදී ගිය වසරේ නිකුත් වීමට තිබු රන්වීර් සිංග්,දීපිකා පදුකෝන් රංගනයෙන් දායක වන 83 චිත්රපටයත් අාක්ෂේ කුමාර්ගේ Sooryavanshi චිත්රපටයත් අමීර් ඛාන්ගේ Lal Singh Chaddha චිත්රපටයත් සල්මන් ඛාන්ගේ Radhe චිත්රපටයත් මේ වසරේ නිකුත් වීමට නියමිතයි...
මීට අමතරව මේ වසරේ ෂාරුක් ඛාන්ගේ වසර දෙකකට පසු නැවත සිනමාගමනය සනිටුහන් කරන Pathan චිත්රපටයත් ආක්ෂේගේ Atrangi Re,Bell Bottom,Bachhan Pandey,Raksha Bandhan හා Ram sethu චිත්රපට පහත් සල්මන් ඛාන්ගේ Antim චිත්රපටයත් මේ වසරේ නිකුත් වීමට නියමිත ප්රධාන චිත්රපට වනවා....
ප්රියංකා චොප්රා,රාජ්කුමාර් රාඕ රංගනයෙන් දායක වන The White Tiger චිත්රපටය ජනවාරි එනම් මෙමස 22 නිකුත් වීමට නියමිතයි...
🔴📽️
𝐊𝐨𝐥𝐥𝐲𝐰𝐨𝐨𝐝 (දමිළ සිනමාව)
කොලිවුඩය නැත්නම් දමිළ සිනමාවේ වැඩිම ආදායමක් වාර්තා කල චිත්රපට 08 මෙසේය....
1.Darbar
2.Pattas
3.Psycho
4.Kannum Kannum Kollaiyadithaal
5.Oh My Kadavule
6.Naan Sirithaal
7.Mafia: Chapter 1
8.Draupathi
දමිළ සිනමාවේ ජනප්රිය සුපිරි තරුව තලපති විජේ හා සේතුපති විජේ රංගනයෙන් දායක වන මාස්ටර් චිත්රපටය ජනවාරි 13 නිකුත් වීමට නියමිත අතර ජනප්රිය නළු වික්රම්ගේ Cobra චිත්රපටයත් Mahavir Karna චිත්රපටයත් සූර්යාගේ Rocketry චිත්රපටයත් මේ වසරේ නිකුත් වීමට නියමිත දැවැන්ත චිත්රපට කිහිපයයි...තවද මනිරත්නම්ගේ Pinniyin Selvan හරහා අයිෂ්වර්යා රාය්,අයිෂ්වර්යා ලක්ෂ්මි,වික්රම්,ත්රිෂා,කාර්ති,මොහාන් රමන්,ජයම් රවී රංගනයෙන දායක වන මෙය ලංකාවේ අපිටද වැදගත් වන්නේ මෙය ලංකාව හා සම්බන්ධ චිත්රපටයක් මෙන්ම ලාංකාවේ දක්ෂ රංගන ශිල්පියෙක් වන ශ්යාම් ප්රනාන්දුද රංගනයෙන් දායක වීමයි...
තවද 1996 වසරේ තිරගත වූ Indian දමිල චිත්රපටයේ දෙවැන්න Indian 2 මේ වසරේ තිරගත වීමට නියමිතයි...එහි පලමු චිත්රපටයේ මෙන්ම මෙහිද රංගනයෙන් දායක වනනේ කමල් හසන් වේ...
🔴📽️
𝐓𝐨𝐥𝐥𝐲𝐰𝐨𝐨𝐝 (තෙළිඟු සිනමාව)
තෙළිඟු සිනමාවේ මේ වසරේදි වැඩිම ආදායමක් ලැබු චිත්රපට 10 නම්...,
1.Ala Vaikunthapurramuloo
2.Sarileru Neekevaru
3.Bheeshma
4.Disco Raja
5.World Famous Lover
6.Aswathama
7.Jaanu
8.Solo Brathuke So Better
9. Entha Manchivadavuraa
10HIT: The First Case
මේ වසරේදි තෙළිඟු සිනමාව මෙන්ම ඉන්දීය සිනමාවේ දැවැන්තම බලා⁣පොරොත්තුව වන බාහුබලි චිත්රපට අධ්යක්ෂක රාජ් මොවුලිගේ අධ්යක්ෂණයක් වන රාම් චරන්,අාලියා බාට්,අජේ දේව්ගන් රංගනයෙන් දායක වන RRR චිත්රපටය භාෂා කිහිපයකින්ම තිරගත වන අතර ඊට අමතරව අල්ලු අර්ජුන්,විජය සේතුපති,රෂ්මිකා මන්දනා රංගනයෙන් දායක වන Pushpa චිත්රපටයත් ප්රබාස්ගේ Radhe Shyam චිත්රපටය මෙන්ම නානිගේ Tuck Jagadish චිත්රපටයද මේ වසරේ තිරගත වන ප්රධාන තෙළිඟු චිත්රපට වනවා...
එහමන්ම කන්ණඩ සිනමාවේ පසුගිය වසරේ විශාල පෙරළියක් සිදු කල KGF 2 චිත්රපටයද මේ වසරේ තිරගත වන දැවැන්ත සිනමාපටයකි...
📽️
𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐂𝐢𝐧𝐞𝐦𝐚 (ලාංකීය සිනමාව)
දේශිය සිනමාව ගැන කතා කිරීමේදි මේ වසරේදි බොහොමයක් බලාපොරොත්තු තැබිය හැකි චිත්රපට නිකුත් විමට තිබුණත් වසංගත තත්වය හමුවේ ඉතා චිත්රපට 12 වැනි සුළු සංඛ්යාවක් තිරගත වූයේ අඩු ආදායම් වාර්තා සමඟින්...එය ලාංකීය සිනමාවට නුහුරු දෙයක් නොවුනත් මෙය සිනමාවට හා නිර්මාණකරුවන්ට දැඩි බලපෑමක් එල්ල කරන කාරණයක් බව නොරහසකි....මේවසරේදි නිකුත් වු සිංහල චිත්රපට හා ඒවායේ අධ්යක්ෂකවරු වනුයේ...
01.සුනාමි - සෝමරත්න දිසානායක
02.නිම් හිම් - මිචෙල් ෆොන්සේකා
03.The Horn - සමීර වක්වැල්ල
04.සුපර්ණා - සුජීව ප්රියල් යද්දෙහිගේ
05.සේද මාවත - හර්ෂ උඩකන්ද
06.ඊතලය - නාලක විතානගේ
07.ඇවිලෙනසුලුයි - චින්තන ධර්මදාස
08.ද නිව්ස් පේපර් - කුමාර තිරිමාදුර,සරත් කොතලාවල
09.සූස්ති - කුෂාන් වීරරත්න
10.ශෙලීනා - චන්දන එදිරිසිංහ,පූජිත ගුණතිලක
11.පාංශු - විසකේසා චන්ද්රසේකරම්
12.රූකඩ පැංච් - වින්දන,කල්පන ආරියවංස
13.මිස් ජෙනිස් - සුසිරන් ද සිල්වා
ඉතිං මේ වසරේ නිකුත් වීමට නියමිත ලාංකීය සිනමාවේ ප්රධාන චිත්රපට ගැන අවධානය යොමු කල විට ලංකාවේ නිෂ්චිතව මේ චිත්රපට මේ වසරේ නිකුත් වේ යැයි කිව නොහැකි වුවත් තිරගත වීමට පෝළිමේ තිබෙන චිත්රපට ⁣වනුයේ,
හේමාල් රණසිංහ රංගනයෙන් දායක වන අයිස්ක්රීම්,අාශාවරි,1970 Love Story,කොළඹ චිත්රපටත් හිතුමතේ ජීවිතේ,ජැක්සන් ඇන්තනීගේ එකගෙයි සොකරි,මොහාන් නියාස්ගේ ශ්රී වික්රම මෙන්ම
ලංකාවේ පලමු 3D ඇනිමේෂන් චිත්රපටය වන කැමිලස්ගේ ගජමෑන්,දඩයම දෙවන චිත්රපටය දඩ ඉම,කන්දක් සේමා,නයිට් රයිඩර්,රොෂාන් රවින්ද්ර රංගනයෙන් දායක වන Secret of the Rose,ප්රසන්න විතානගේ නිර්මාණයක් වන ගාඩි,කපිල සූර්යආරච්චිගේ සිනේමා,කැළණිය සරසිවියේ නිර්මාණයක් වන වියසිදුරු,සුමිත් රත්නායකගේ රං කොල්ලා,කවුරුත් දන්නෙ නෑ,ඉක්කා,යාත්රා,නිහඬසෙවනැලි,ගිරිවැසිපුර,බහුචිතවාදියා යන විශාල චිත්රපට සංඛ්යාවක් ගිය වසරේ තිරගත වීමට තිබුණ සිනමා ලැයිස්තුවේ තිබුණු චිත්රපට අතර වනවා....
ඉතිං ලැබුවා වු මේ වසර අප බලාපොරොත්තුවෙන් සිටින චිත්රපට නිකුත් වී වැඩි වැඩියෙන් සිනමාව රසවිඳීමට ලැබෙන වසරක් වේවා යැයි ප්රාර්ථනා කරන අතරම සිනමාවේදි ඔබ සියළු දෙනාගේ බලාපොරොත්තු ඉටු වේවා යැයි ප්රාර්ථනා කරන්නෙමි...
🔴
පින්තූරයේ කතාව....
පහළ පින්තූරයේ දැක්වෙන්නේ 2020 වසර වන විටත් අඛණ්ඩව චිත්රපට තිරගත වන ලොව පැරණිම සිනමාශාලාවේ සේවය කරන සේවිකාවක් පොප්කෝන් විකුණන අයුරුයි...
වොෂින්ටන්ටනවේ ලෝවා නගරයේ The State Theater නම් මෙම සිනමාශාලාව විවෘත කර ඇත්තේ 1897 මැයි 14 වන දිනයි...කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පසුගිය මාර්තු මස වසා දමන තෙක් අඛණ්ඩව චිත්රපට ප්රදර්ශනය කර ඇති මෙම සිනමාශාලාව ගිනස් වාර්තා පොතටද ඇතුලත් වී ඇත...
එහි සේවය කරන පිරිස සිනමාශාලාව වසා දමා සතියකට පසු සිදුකර ඇත්තේ සිය සිනමාශාලාව අසල පොප්කෝන් විකිණීමයි...එසේ සිදුකර ඇත්තේ නගරය පුරා පොප්කෝන් වලට ප්රිය කරන සියළු දෙනා වෙනුවෙන් කාර්ය මණ්ඩලයේ ස්ව කැමැත්තෙන් බවයි සඳහන් වෙන්නේ...
ලංකාවේ 3D නොවන චිත්රපට ප්රදර්ශනයට සිනමාශාලා ජනවාරි 01 වනිදා විවෘත වුවත් දේශිය සිනමාව පවතින තත්වය හමුවේ සිනමා ශාලා හිමිකරුවන්ට පොප්කෝන් විකිණිම සිදුනොකිරීමට වගබලා ගැනීම පාලකයන් සතුයි..



Kamali from Nadukkaveri 2021

  සුපිරිම ෆිලිම් එකක් 🔥❤👌 ( Recommend ) සුපිරියටම සෙට් උන ෆිලිම් එකක්.  A/L කරන O/L කරන වගෙම කැම්පස් ගියපු. තමන්ගේ හීනයක් වෙනුවෙන් මහන්සී ...